සාම විනිසුරුවරුන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක්

Share

කලාප, දිස්ත්‍රික්ක, කොට්ඨාශ වෙනුවට පරිපාලන දිස්ත්‍රික්කය සඳහා  සාම විනිසුරුවරුන් පත් කිරීමට හා සාම විනිසුරුවරුන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් සකස් කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

අධිකරණ කලාප දිස්ත්‍රික්ක සහ කොට්ඨාශ පදනම් කර ගෙන සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරීම වෙනුවට පරිපාලන දිස්ත්‍රික්ක සඳහා පත් කිරීම හා සාමදාන විනිශ්චයකාරවරුන්ගේ සේවය අත්හිටුවීම, අවලංගු කිරීම සහ අවසන් කිරීම සම්බන්ධයෙන් නියෝග අමාත්‍යවරයාට නිර්මාණය කළ හැකි වන පරිදී අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ අංක 45 වන වගන්තිය සංශෝධනය කිරීමට කටයුතු කර ඇති අතර ඊට අදාළ පනත් කෙටුම්පත අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් පාර්ලිමේන්තුවට පසුගිය 6 දා ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

මෙම පනත් කෙටුම්පතට අනුව සංශෝධනය ක්‍රියාත්මක කරනු ලබන දිනට පෙර පනත යටතේ දැනටමත් පත් කර ඇති සාමදාන විනිශ්චයකාරවරුන් යම් අධිකරණ කොට්ඨාසයකට අධිකරණ දිස්ත්‍රික්කයකට හෝ අධිකරණ කලාපයකට සිය පත්වීම් සිදු කරන අවස්ථාවේ දී ඔවුන්ගේ පදිංචි ස්ථාන පිහිටා තිබූ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අයත් අදාළ පරිපාලන දිස්ත්‍රික්කය සහා පත් කර ඇති බවට සැලකිය යුතු බව අමාත්‍යාංශය සඳහන් කරයි.

කලින් කලට අධිකරණ කලාප සීමා වෙනස් කිරීම හේතුවෙන් තමන්ට අදාල අධිකරණ බල ප්‍රදේශය හදුනා ගැනීමට ප්‍රායෝගිකව අපහසු වී ඇතැයි  එබදු සුවිශේෂි අධිකරණ කලාප සදහා පත්වීම් ලැබු සාමදාන විනිශ්චයකාරවරුන් විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට දීර්ඝ කාලයක් පුරාවට දැනුම් දී තිබේ.

මෙම පනතට අනුව සාමදාන විනිශ්චයකාරවරුන්ගේ ක්‍රියා කලාපයට එරෙහිව සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් ලැබීමත් සමගම සාමදාන විනිශ්චයකාරවරුන්ගේ පත්වීම අත්හිටුවීම අවලංගු කිරීම අවසන් කිරීම සඳහා රෙගුලාසි හදුන්වා දීමට සහ ඔවුන් සම්බන්ධයෙන් ආචාර ධර්ම පද්ධතියක් ද ක්‍රියාත්මක කිරීමට ද යෝජනා කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි .

1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 61(1) වගන්තියට අනුව ආචාර ධර්ම සංග්‍රහයක් සදහා නියෝග සෑදීමට නීතියෙන් හැකියාව ඇති බවත් සාමදාන විනිශ්චයකාරවරුන්ගේ සේවය අත්හිටුවීම සහ අවසන් කිරීම පිළිබදව නියෝග සෑදීමට අමාත්‍යවරයාට බලය පැවරෙන විධි විධාන පනතේ නොමැති බවත් අමාත්‍යාංශය පවසයි.

මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලබා දී තිබු බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් පැවසීය.

Read more

Local News