වෝහාරික විගණනයට වත්මන් පරිපාලනයෙන් සහය නෑ

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ වන විට සිදු කරනු ලබන වෝහාරික විගණනයට එහි වත්මන් පරිපාලනයෙන් අවශ්‍ය සහය නොලැබෙන බව වාර්තාවෙයි.

පරීක්ෂණය සිදු කරන රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ වෝහාරික විගණනය සිදු කිරීමට අවශ්‍ය සමහර ලිපි ලේඛනවල විස්තර ලබා දීම ප්‍රමාද කර ඇති බවත් තවත් සමහර ලේඛනවල සම්පුර්ණ තොරතුරු ලබාදී නොමැති බවත්ය.

මේ හේතුව නිසා වෝහාරික විගණනයේ අවසන් වාර්තාවක් කඩිනමින් ක්‍රීඩා අමාත්‍යංශයට ලබාදීමට හැකියාවක් නොමැති බවද එම ප්‍රකාශකයා පැවසීය.

කෙසේ වෙතත් මීට පෙර ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේ පවසා සිටියේ තවත් සති 02කින් පමණ වාර්තාව ප්‍රසිද්ධ කිරීමට හැකිවනු ඇති බවයි.

එහෙත් ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර සිටියේ මෙම පරිපාලනය පවතින තෙක් මෙම විගණනය විනිවිද භාවයකින් සිදු කිරීම ගැටලු සහගත බවයි.

මේ වන විට වෝහාරික විගණනය සිදු කරන විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගෙන් 2016-2018 කාල සීමාව සඳහා වන සියලු ගනුදෙනුවල ලිපිලේඛන ඉල්ලා ඇතත් සමහර ලිපි ලේඛන ලබා දීම තවමත් ප්‍රමාද කර තිබෙන බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ වෝහාරික විගණනය විධිමත් කිරීමට පියවර ගෙන තිබෙන බවත්, සහය නොදක්වනවා යැයි පැවසීම අසත්‍යයක් බවත්ය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රිකට් ලේකම්වරයා,

“ලිපිලේඛන ලබා නොදෙනවා යැයි පැවැසීම අසත්‍යයක්. අපි පරිපාලනය භාරගත්තාම අපි දැක්කා විගණනයට අවශ්‍ය තොරතුරු එක එක්කෙනාගෙන් ඉල්ලලා තියෙනවා. අපේ ප්‍රධාන විධායකවරයා එම තොරතුරු ලබාදීම අංශවල පුද්ගලයන් වෙත පවරලා තියෙනවා.

හැබැයි ඒක නෙමෙයි හරි ක්‍රමය. ක්‍රිකට් ආයතනයේ ඉන්නවා මුල්‍ය අංශ ප්‍රධානියෙක්. අපි රැස්වීමක් තියලා කිව්වා අංශවල ඉන්න අයට කිව්වා ඒ අදාළ තොරතුරු මුල්‍ය අංශ ප්‍රධානියාට ලබාදෙන්න කියලා.

මූල්‍ය අංශ ප්‍රධානියා එම තොරතුරු විගණනය සිදු කරන නිලධාරීන්ට ලබාදේවි කියලා. අපිට අවශ්‍ය මේ ක්‍රමවේදය විධිමත් කරන්නයි. අපිට හංගන්න දෙයක් නැහැ. අනික මේ ලිපිලේඛන විගණන දෙපාර්තමේන්තුවෙන් කලිනුත් විගණනය කරලා තිබුණු දේවල්.” යැයි පැවසීය.

Read more

Local News