ව්‍යාජ ලේඛන මගින් විදේශ ගතවීමට තැත්කළ කතුන් 3ක් අත්අඩංගුවට

Share

විදේශ රැකියා සදහා යාමට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් නොමග යැවීමට තැත් කළ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොල කාර්යාංශ පරිශ්‍රයේ සේවයේ නියුතු නිළධාරීන් විසින් හදුනාගැනීමෙන් අනතුරුව ගුවන් තොටුපොල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් භාරයට පත්කර ඇත.

මින් එක් කාන්තාවක් ඊයේ(13) දින ඉන්දියාවේ සංචාරයක් සදහා යන බව කාර්යාංශ නිළධාරීන්ට පවසා ඇති අතර, ඇයගේ ගමන් බලපත්‍රය පරික්ෂා කිරීමේදී ඇය ඉදිරිපත් කළ ගමන් බලපත්‍රයෙහි ව්‍යාජ ඉන්දියානු වීසාපතක් අලවා ඇති බව හෙළිවී ඇත.

නිළධාරින් විසින් තවදුරටත් කරුණු විමසීමේදී ඇය සතුව තිබී කුවේට් වීසාපතක්, පිටත්වීමේ හා පැමිණිමේ ටිකට්පත් 03ක්, පොලිස් වාර්තාවක් හා මුදල් භාරගත් කුවින්තාසියක්ද සොයාගැනීමට හැකිවී ඇත.

මෙදිනම තවත් කාන්තාවක් අන්සතු ගමන් බලපත්‍රයක් මගින් විදේශ ගතවීමට උත්සහ කරන ලද අවස්ථාවක් නිරීක්ෂණය කළ කාර්යාංශ නිළධාරීන් මෙම කාන්තාවන් දෙදෙනාම ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ගුවන් තොටුපොල කාර්යාලය වෙත යොමුකර ඇත.

තවද හදුනානොගත් විදේශ රැකියා නියෝජිත ආයතනයක මැදිහත්වීමෙන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් විදේශ ගතවීමට උත්සහ කළ කාන්තාවක්ද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට භාරදී තිබේ.

මේ අනුව නීත්‍යානුකූල නොවන හා අනාරක්ෂිත අයුරින් කාන්තාවන් විදේශ රැකියා සදහා යොමුකරනු ලැබූ විදේශ රැකියා නියෝජිතයින් සහ උප නියෝජිතයින් පිළිබදව කරුණු සොයාබලා නීත්‍යානුකූලව කටයුතු කිරීම කාර්යාංශයේ විමර්ශන හා නීති අංශයන් මගින් සිදුකිරීමට පියවර ගනු ලැබේ.

Read more

Local News