ආර්ථික මධ්‍යස්ථාන නවීකරණය කිරීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරන්න

Share

ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතා පවසා අැත්තේ ආර්ථික මධ්‍යස්ථාන නවීකරණය කිරීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් කටයුතු කරන ලෙසත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සනීපාරක්ෂක පහසුකම් පිළිබදව පැන නැගී ඇති ගැටළුවට හැකි ඉක්මනින් විසදුම් ලබා දෙන ලෙසද එසේ නොකළහොත් කළමනාකරුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන්හි සංවර්ධන කටයුතු වල ප්‍රගතිය හා ඉදිරි සංවර්ධන කටයුතු පිළිබද පසුගියදා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වු සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.

අමාත්‍යංශ ප්‍රතිපාදන වලින් හා ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරන භාරය මගින් සිදු කරන සංවර්ධන කටයුතු පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණ අතර ආර්ථික මධ්‍යස්ථානයන්හි පවතින අඩුපාඩු හා ගැටළු පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලදී.

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානයන්හි සංවර්ධන කටයුතු සදහා 2017 වසරට රුපියල් මිලියන 50 ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙම ප්‍රතිපාදන ආර්ථික මධ්‍යස්ථානයන්හි යටිතල පහසුකම් සංවර්ධනය සදහා යොදවා ඇති අතර මෙමගින් ගොවීන්ට තම නිෂ්පාදන සදහා සාධාරණ මිලක් ලබා ගැනීමට වෙළද පොළ සකසා දීම හා පාරිභෝගිකයාට පහසු මිලට ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අවස්ථාව සලසා දීම අමාත්‍යංශයේ අරමුණයි.

මෙහිදී රජයේ තක්සේරුවට අනුව බදුකුලී නොගෙවන ආර්ථික මධ්‍යස්ථානයන්හි වෙළදුන්ගෙන් කුලී අයකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අතර මෙසේ බදු කුලී නොගෙවීම බදු ගෙවන වෙළදුන්ට සිදු කරන ආසාධාරණයක් බවත් අමාත්‍යවරයා පැවසීය.

 

Read more

Local News