නුවරඑළිය, හම්බන්තොට නව මහ රෝහල් මැයි මාසයේ දී ජනතා අයිතියට

Share

නෙදර්ලන්ත ආධාර යටතේ ඉදිකරන ලද හම්බන්තොට සහ නුවරඑළිය නව මහ රෝහල් ලබන මැයි මැයි මාසයේ දී විවෘත කිරීමට නියමිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.

මෙම රෝහල්වල ඉදිකිරීම් සහ උපකරණ සම්බන්ධයෙන් පැවැති ගැටලු අවසන් කර ඇති බවත් එම උපකරණ රෝහල් දෙකට ලැබෙමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

අදාල රෝහල්වල ගොඩනැගිලි සෞඛ්‍ය අමාත්‍යාංශයට කොන්ත්‍රාත්කරුවන්ගෙන් පවරා ගැනීම කඩිනමින් සිදු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.

මේ අතර ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් සඳහා බඳවා ගත් ක්ෂේත්‍ර නිලධාරීන් ස්ථිර කිරීම පිළිබදව ද සාකච්ඡා කළ අතර, ඒ සදහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි. එවැනි ක්ෂේත්‍ර නිලධාරින් 1500 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බඳවාගෙන ඇත.

දකුණු පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගය යළි පැතිරයාමේ අවධානමක් පවතින බවට අනතුරු අඟවා ඇති බැවින් ඊට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබාදෙන ලදි.

Read more

Local News