ලීමා – 2019 ට සහභාගී වීමට සාගර නෞකාව මැලේසියාව බලා පිටත්ව යයි

Share

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර, මැලේසියාවේ ලන්කාවි දූපතේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශනයට (ලීමා – 2019) සහභාගී වීම සඳහා අද(19) තිකුණාමලය වරායෙන් පිටත් විය.

වරායෙන් පිටත් වන සාගර නෞකාව වෙත නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් නාවික චාරිත්‍ර හා සම්ප්‍රදායානුකූලව සමුදීම සනිටුහන් කළ අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

මෙම සංචාරයේදී නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් අනිල් බෝවත්ත කටයුතු කරනු ලබන අතර, සමස්ථ නැව් මුළුව, නිලධාරීන් සහ නාවිකයන් 180 දෙනෙකුගෙන් යුක්ත වේ.

මෙම ප්‍රදර්ශනය සඳහා ලොව විවිධ රටවල් නියෝජනය කරමින් නෞකාවන් සහභාගී වීමට නියමිතව ඇති අතර, රටවල් අතර ‍ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කිරීමේ අරමුණින් වසර 2 කට වරක් මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශණය පවත්වනු ලබන අතර, මෙවර එම අභ්‍යාසය සහ ප්‍රදර්ශණය පවත්වනුයේ 15 වන වරටය.

මාර්තු මස 26 වන දින සිට 30 වන දින දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට සංස්කෘතික සංදර්ශන, නෞකා දැක්ම, නාවික හා ගුවන් ඒකාබද්ධ අභ්‍යාසයන් ඇතුළු විශේෂ වැඩසටහන් රාශියක් පැවැත්වීමට නියමිතව ඇත.

Read more

Local News