අල්ලස් චෝදනාවලට වරදකරු කෙරෙනු කළුතර නගර සභාවේ හිටපු වැඩ අධිකාරිවරයෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් හා දඩ නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මෙසේ දඬුවම් නියම කරන ලද්දේ කළුතර නගර සභාවේ වැඩ අධිකාරීවරයකු ලෙස කටයුතු කළ චේතිය හසිත නමැති විත්තිකරුවෙකුටයි.
2011 වසරේ දෙසැම්බර් මස 23 වනදා නගර සභාවේ වාහනයක් රක්ෂණය කිරිමට අදාල කටයුත්ත පැවරීම සඳහා රක්ෂණ නියෝජිතයකුගෙන් රුපියල් 15,000 ක අල්ලසක් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හිටපු වැඩ අධිකාරීවරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි ප්‍රකාශ කළේය.
ඒ අනුව විත්තිකරුට වසර හයක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර හතරකින් ගෙවිය යුතු බව නියෝග කළ අතර රුපියල් පන්දහසක දඩයක් ද නියම කර ලැබීය.
විත්තිකරු විසින් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 15000 ක මුදල දණ්ඩනයක් වශයෙන් අයකර ගන්නා මෙන් ද නඩු තීන්දුවේ සඳහන් වුණි.