විල්පත්තු පෙත්සම 28 විභාගයට

Share

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි විලත්තිකුලම් වනාන්තර කලාපය හෙළිකොට අනවසර ඉදිකිරීම් සිදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් ජුනි මස 28 වනදා විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය අද(22) දින නියම කළේය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැදවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ 4 වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා විසින් මෙම රක්ෂිත වනාන්තර කලාපය අඛණ්ඩව හෙළි කරමින් සිටින බව දැනුම් දුන්නේය.

මේ හේතුවෙන් මෙම පෙත්සම කඩිනමින් විභාග සඳහා දිනයක් නියම කර ලෙසයි නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව පෙත්සම් විභාගය ජුනි මස 28 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය දින නියම කළේය.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පරිසරවේදියකු වන මලින්ද සෙනෙවිරත්න සහ නාගානන්ද කොඩිතුවක්කු යන අය විසිනි.

විල්පත්තුවේ තිබු වනාන්තර කලාපය එළි පෙහෙළි කොට අනවසර ඉදිකිරීම් සිදුකිරීම හේතුවෙන් විශාල පාරිසරික අගතියක් සිදුව ඇති බවයි පෙත්සම්කරුවන් පවසන්නේ.

එබැවින් අදාළ වනාන්තර හෙළි කොට අනවසර ඉදිකිරිම් සිදුකිරිම වැළැක්වීමෙන් නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

Read more

Local News