වෙල්ගමගේ නඩුව එන මස 02 වනදා කැඳවයි

Share

ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අප්‍රේල් මස 02 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව දක්වමින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව නඩුව අප්‍රේල් මස දෙවනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදිනට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කරන මෙන් නියම කළේය.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති යනුවෙන් තනතුරක් අලුතින් නිර්මාණය කර රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කුමාර වෙල්ගම හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Read more

Local News