උණ වැළඳුණු ගර්භනී මව්වරුන් පළමු දිනම රෝහල් ගත කරන්න උපදෙස්

Share

ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මවුවරු රෝගී වූ පළමු දිනයේම රෝහල් ගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙයි.

මෙම දිනවල පැතිර යන ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග වැළඳුනු ගර්භණී මවුවරු අනෙකුත් අයට වඩා අවදානම් තත්ත්වයකට පත්විය හැකි අතර උග්‍ර සංකුලතා වලට ලක්විය හැකිය.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ආවේක්ෂණ දත්ත වලට අනුව ඉන්ෆ්ලුවෙන්සා නියුමෝනියාව නිසා මෙම වසරේ මාතෘ මරණ 2ක් මේ වන විට වාර්තා වී ඇති අතර 2018 වසරේ දී ගර්භණි කාන්තාවන් 11 ක් නියුමෝනියාව නිසා මිය ගියහ.

2017 වසරේ දී ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා නිසා ගර්භණී මවුවරු 41 කට ජිවිත අහිමි විය.

ගර්භණි මවු වරුන්ට සෙම්ප්‍රතිශ්‍යා උණ රෝග ලක්ෂණ ඇති අය අසලට යාමෙන් සහ වැඩිපුර සෙනඟ ගැවසෙන ස්ථාන වල රැඳීමෙන් වළකින ලෙසටත් නිවැරැදි ශ්වසන ස්වාස්ථතාවයන් අනුගමනය කරන ලෙසටත් උපදෙස් ලබා දී ඇත.

උණ වැළඳුණු ගර්භණී හෝ පසු ප්‍රසව මවුවරු පළමු දිනයේම රෝහල් ගත කිරීමෙන් එම මවුවරුනට විශේෂිත ප්‍රතිකාර ලබා දිය හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

එවැනි මවුවරුන් පළමු දිනයේම රෝහල් ගත කිරීමට සියලුම වෛද්‍ය ආයතන වලට, රජයේ සහ පුද්ගලික වෛද්‍යවරුන්ට, බාහිර රෝගී අංශ වලට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට උපදෙස් මේ වනවිටත් නිකුත් කර ඇත.

Read more

Local News