ලක්සල හිටපු සභාපතිගේ නඩුවේ සාක්ෂිකරුවෙකු අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

Share

රජයට පාඩුවක් සිදු කළේයැයි චෝදනා කරමින් ලක්සල ආයතනයේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ එක් සාක්ෂිකාරයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(22) වරෙන්තු නිකුත් කර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම වරෙන්තුව ලබා දී ඇත.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණත් ඇය අධිකරණය හමුවේ පෙනී සිටි නැත.

ඒ අනුව නඩුව මැයි මස 10 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය අදාල සාක්ෂිකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කළාය.

2011 වසරේ කොළඹ ජාතික කෞතුකාගාර භුමියේ පිළිගත් ටෙන්ඩර් පටිපාටියට උල්ලංඝනය කරමින් වෙළඳ කුටියක් ඉදිකිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ලක්සල හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.

Read more

Local News