අද දවසේ වගකීමක් ගැන ජනපති කියයි

Share

රට ගැන සිතා රට වෙනුවෙන් එකට සිටිමින් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කැපවීම අද(22) දවසේ සියලුදෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ “රට වෙනුවෙන් – එකට සිටිමු” පුත්තලම දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවයට අද පෙරවරුවේ පුත්තලම ශක්ති ක්‍රිඩාංගණයේ දී එක් වෙමිනි.

ජනාධිපතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි ජනාධිපති කාර්යාලය මෙහෙයවන ජාතික සංවර්ධන ව්‍යාපෘති වන දිළිඳුකම පිටුදැකීමේ ග්‍රාමශක්ති වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන, පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන ඇතුළු විශේෂ ව්‍යාපෘති සහ විවිධ අමාත්‍යාංශ විසින් ක්‍රියාත්මක කරන ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම ව හා ඵලදායීව ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා ජනතාවට උපරිම මහජන සේවාවන් හා ප්‍රතිලාභ අත්පත් කර දීම, රට වෙනුවෙන් එකට සිටිමු, වැඩසටහනේ ප්‍රමුඛ අරමුණයි.

එහි පළමු දිස්ත්‍රික් වැඩසටහන පසුගිය 18 වන දා පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණු අතර පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 හා ග්‍රාම නිලධාරි වසම් 332ම ආවරණය කරමින් ප්‍රදේශයේ ජනතාවගේ අධ්‍යාපන ගැටලු, සෞඛ්‍ය ගැටලු, රැකියා ගැටලු ආදි ගැටලු රැසකට විසඳුම් ලබාදීම ඇතුළු මහජන සේවාවන් රැසක් එහි දී ක්‍රියාත්මක කෙරිණි.

මෙහි සමාප්ති උත්සවය ඇමතූ ජනධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පුත්තලම දිස්තික්කයේ සංවර්ධනය කාර්යක්ෂම කිරීම වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් ඉදිරියේ දී ක්‍රියාවට නංවන බවයි. ඊට අදාළ සැලැස්ම සකස්කර කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

සමාජ, ආර්ථික වශයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දී ගැටලුවලට මෙන්ම සංවර්ධනයේ පසුබෑමකට ලක්වූ දිස්ත්‍රික්කයේ සංවර්ධනයට එම වැඩපිළිවෙළ මඟින් පුළුල් වැඩකොටසක් ඉටුවනු ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රට වෙනුවෙන් එකට සිටිමු වැඩපිළිවෙළ කිසිසේත් දේශපාලන වැඩපිළිවෙළක් නොවන බවයි. එය දේශපාලන, ජාති, ආගම් ප්‍රශ්න අමතක කර රටේ ප්‍රශ්න විසඳීමට සියලුදෙන එකට එක්වන වැඩපිළිවෙළක ප්‍රවේශයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

දීර්ඝ කාලයක් පුරා මහජනතාව මුහුණ දී ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් මහජන අවශ්‍යතා ඉටුකෙරෙන “රට වෙනුවෙන් – එකට සිටිමු” වැඩසටහන ඉදිරියේ දී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

අද පැවති පුත්තලම දිස්ත්‍රික් සමාප්ති උත්සවයේ දී ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභින් වෙනුවෙන් සූර්ය බල කෝෂ ප්‍රදානය, බීජ පැළ බෙදාදීම, කෘෂි උපකරණ බෙදාදීම සහ වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ ගොවි විශ්‍රාම වැටුප් හිමිකම් ප්‍රදානය, ජල පෙරණ කට්ටල බෙදාදිම, ඉඩම් බලපත්‍ර ලබාදීම ඇතුළු වැඩසටහන් ද, සමාජ සේවා වැඩසටහන යටතේ ආබාධිත පුරවැසියන් සඳහා රෝද පුටු බෙදාදීම, ස්වයං රැකියා උපකරණ කට්ටල ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණි.

මේ අතර පුත්තලම දිස්ත්‍රික්, ස්මාර්ට් ශ්‍රී ලංකා, වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය අද පෙරවරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

සමරු ඵලකය නිරාවරණය කර වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

පුත්තලම නාගරික ශ්‍රවණාගාරය ජනතා අයිතියට පවරාදීම ද අද පෙවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ සියලු පහසුකම්වලින් සමන්විත ව අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් ලෙස මෙම ශ්‍රවණාගාරය ඉදිකර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර නව ශ්‍රවණාගාරය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිතර විය.

Read more

Local News