එජාප මැයි රැලිය කොළඹ නගර සභා පිටියේ දී

මෙවර මැයි දින රැලිය කොළඹ නගර සභා පිටියේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එළඹෙන ඕනෑම ජාතික මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ කටයුතු ද සම්පාදනය කරමින් මෙවර මැයි දින රැලිය සංවිධානය කරන බව පසුගියදා විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වනවිටත් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවත්, සිරිකොත ගමට වැඩපිළිවෙළ සාර්ථක ව කලුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ බවත්, මෙවර මැයි දිනයෙන් පසු සිරිකොත ගමට වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කය ආවරණය කරමින් ක්‍රියාත්මක කරන බවත් අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසුවේය.

මැයි රැලියට පෙර එක්සත් පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ මෙන් ම දෙපාර්ශවයම එකතු වී ගොඩනඟන  දැවැන්ත පෙරමුණ ප්‍රකාශයට පත්කරන්නට බලාපොරොත්තු වන බවද මහලේකම්වරයා සඳහන් කළේය.

විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින ප්‍රධාන පක්ෂවල ප්‍රධානීන්, සාමාජිකයන්, දේශපාලනඥයින් ඇතුළු ජනතා නියෝජිතයන් සමඟ එක් ව ඊළඟ ජාතික මැතිවරණය ජයග්‍රහණය කරන්නට අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන බව ද මහලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.