වෛද්‍ය පුහුණු පත්වීම් ප්‍රදානය වලක්වාලමින් පැනවු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

Share

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉකුත් ජනවාරි මස 29 දා ගත් තීරණයකට අනුව සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් ප්‍රදානය කිරීම වලක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය අප්‍රේල් මස 02 වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් තුන් දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද(27) යළි සලකා බැලීමෙන් පසුව බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තහනම් නියෝගය දීර්ඝ කරනු ලැබුවේය.

මෙම පෙත්සම් පිළිබඳ විභාගය අප්‍රේල් මස 01 වනදා පැවැත්වීමට නියමිතය.

පෙත්සම්කාර සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පෙත්සම මඟින් කියා තිබෙන්නේ වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික පුහුණු පත්වීම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉකුත් ජනවාරි මස 29 දා තීන්දුවක් ගෙන තිබු බවයි.

එම සීමාවාසික පත්වීම් ප්‍රදානය කිරීමේදී සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් 85 දෙනෙකු මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවන් රජයේ වෛද්‍ය පීඨවල වෛද්‍ය උපාධිධාරීන් සහ කොතලාවල වෛද්‍ය පීඨයේ උපාධිධාරීන් පමණක් තෝරාගෙන ඇති බව කියා සිටියේය. ඒ තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බව කියා සිටින්නේ.

මේ හේතුවෙන් මෙම පෙත්සම් පිළිබඳව පූර්ණ විභාගයක් පවත්වන ලෙසත් පෙත්සම් විභාගය අවසන් වන තුරු සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් ප්‍රදානය කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබේ.

Read more

Local News