ෆොන්සේකාගේ වරප්‍රසාද ප්‍රශ්නය මෙන්න

Share

දේශපාලන පලිගැනීම් හේතුවෙන් අහිමි වූ මන්ත්‍රී වරප්‍රසාද සියල්ල තමන්ට යළි ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට යොමුකළේය.

වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් ඊයේ(27දා) පාර්ලිමේන්තුවේදී ෆොන්සේකා මහතා කථානායකවරයාගෙන් මේ සම්බන්ධ ඉල්ලීම සිදුකළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු යෝජනාව ඉදිරිපත් කරමින් ෆොන්සේකා මහතා පවසා සිටියේ, “2010 ජනවාරි මස දේශපාලන පක්ෂ නායකයන්ගේ ඉල්ලීම මත ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස තරගකිරීමෙන් පසුව 2010 පෙබරවාරි 08 දින බොරු චෝදනා මත හිටපු පාලකයාගේ අණින් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන රඳවාතබාගත්තා.

නීත්‍යනුකූල නොවූ යුද අධිකරණ දෙකක් ඉදිරියට මා පමුණුවා මාගේ නිලතල ඉවත් කර විශ්‍රාම වැටුප අහිමිකර වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කළා.

2010 අප්‍රේල් මස පැවැත්වූ මහමැතිවරණයට සිර මැදරියේ සිට තරග කළ අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 98,000 ලබා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත්වුණා. ඒ අනුව 2010 අප්‍රේල් මාසයේදී මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නා.

ඉන් පසුව නීතිවිරෝධී යුද අධිකරණයකින් සිරදඬුවම් නියමකළ එවකට සිටි පාලකයා 2010 සැප්තැම්බර මස 30 දින වැලිකඩ සිරගත කර මාගේ පාර්ලිමේන්තු අසුන අහිමිකර ලැබියයුතු සියලු පඩිනඩි දීමනා හා වරප්‍රසාද අහිමි කළා.

2015 ජනවාරි 08 දින පත්වූ ජනාධිපතිවරයා මා හට නගා තිබූ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර මාගේ නිවැරදිභාවය තහවුරු කර තිබෙනවා.

මේනිසා ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම දේශපාලන පලිගැනීමකට ලක්වූ මාහට මන්ත්‍රී වරප්‍රසාද හා වැටුප් දීමනා, මන්ත්‍රී වාහන බලපත්‍රය හා මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වුණා. මේනිසා ඒ සියල්ල මාහට ලබානොදීමෙන් මගේ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බැවින් මේ සම්බන්ධව විමසා බලා මාහට අහිමිවුණු සියලු වරපස්‍රාද ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා” යනුවෙනි.

Read more

Local News