නව නිල ඇඳුමක් පොලිස් නිලධාරින්ට හඳුන්වාදෙන බව ජනපති කියයි

Share

දැනට භාවිත වන කාකි ඇඳුම වෙනුවට වඩා සුදුසු නිල ඇඳුමක් පොලිස් නිලධාරින්ට හඳුන්වාදීම පිළිබඳව තමා අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව ජනාධිපතිතුමා පවසයි.

පොලිසිය පිළිබඳ ජනතාව තුළ පවතින අයහපත් ආකල්ප වෙනස් කරමින් ගුණාත්මක සහ ගෞරවාන්විත පොලිස් සේවාවක් ගොඩනැඟීමට පොලිසිය තුළ සිදුකරන අභ්‍යන්තර වෙනස්කම්වල තවත් පියවරක් ලෙස ඉදිරියේ දී මෙලෙස පොලිස් නිල ඇඳුමේ ද යම් වෙනසක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ(28) පස්වරුවේ එක්වෙමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරත් සඳහන් කළේ තමා පොලිස් දෙපාර්තමේන්තුව භාරගෙන ගෙවීගිය මාස කිහිපය තුළ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ මෙන්ම අභ්‍යන්තරව සිදු කළ යුතුව තිබූ වෙනස්කම් රැසක් සිදු කිරීමට ද පියවර ගත් බවයි.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පමණක් නොව පරිසර සංරක්ෂණය මෙන්ම සංවර්ධන ක්‍රියාදාමයේ දී සහ පොදු මහජන සුබසාධන සේවාවන්වල දී ද පොලිසිය ඉටුකරන සේවය මෙහිදී ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය.

සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් මෙහි දී ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

Read more

Local News