රථ වාහන වැරදි හතක අවම දඩයේ ගැසට් පත්‍රය මෙන්න

Share

රථ වාහන වැරදි 7ක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

ඊයේ(01) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ එම ගැසට් නිවේදනය ප්‍රකාරව නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අපේක්ෂා කරයි. ඒ මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කිරීමෙනි.

වත්මන් මාරක රිය අනතුරුවලට බොහෝ විට බලපා ඇත්තේ මාර්ග නීති උල්ලංඝණය සහ රියදුරාගේ නොසැලකිලිමත්  බවයි.

මේ හේතුවෙන් මාර්ග අනතුරු සඳහා බහුලව බලපාන මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සහ රථ වාහන වැරදි සඳහා වූ පනවන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කළ යුතු බවට යෝජනා වූයේ 2017 අයවැය යෝජනාවේ 486 වැන්නෙනි.

ඒ සම්බන්ධයෙන් 2016. 11. 21වැනි දින මුදල් අමාත්‍යාංශය, ප්‍රවාහන සහ  සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය, බස්රථ සහ ත්‍රීරෝද සංගම් නියෝජිතයින් එක්ව මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මාර්ග අනතුරු සඳහා විශාල වශයෙන් හේතු වන වැරදි හතක් හඳුනා ගැනිණ.

එම රථ වාහන වැරදි හත සඳහා පනවන දඩ මුදල විසිපන්දහස දක්වා වැඩිකිරීමටද එම සාකච්ඡාවේදී තීරණය විය. කෙසේනමුත් එම දඩමුදල් වැඩි කිරීමට විරෝධය දක්වා බස්රථ සංගම් සහ ත්‍රීරෝද රථ සංගම් වැඩවර්ජනයකට යොමු වීම හේතුවෙන් නැවත වරක් එම යෝජනාව විමසා බලා වාර්තාවක් සැපයීමට ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළේය.

දඩ මුදල් විමසා බැලීමට ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ සාමාජිකයෝ 5 දෙනෙකි. ඒ මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයකු, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – රථවාහන යන නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදි.

එම කමිටුව සිදුකළ පුළුල් විමර්ශනයකින් පසුව මාර්ග අනතුරු සඳහා බලපාන වැරදි හතක් ප්‍රධාන වශයෙන් හඳුනා ගත් අතර එම වැරදි සඳහා අයකරන දඩ මුදල රුපියල් 25000 දක්වා වැඩි කිරීමටද කමිටුව නිර්දේශ කළේය.

එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මොටර් වාහන පණතේ 123, 141, 148, 152, 196, 216, 217, 218, 224 යන වගන්ති සහ ප්‍රධාන ප්‍රඥ්පතියේ දෙවැනි උප ලේඛනය සංශෝධනය කිරීමේ යෝජිත පණත් කෙටුම්පතට ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරි පත් කිරීම සඳහාත් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි පසුගියදා හිමිවිය.

රථ වාහන වැරදි සඳහා පනවන අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි කිරීමේ කැසට් පත්‍රය ඊයේ නිකුත් කළේ ඒ අනුව වේ.

එහිදී අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි කරන රථ වාහන වැරදි හය වන්නේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැන්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළත් කිරීම, වලංගු අක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය වේ.  වමෙන් ඉස්සරහ කිරීමේ දඩයද වැඩි කර ඇත.

එම දඩ වැඩිවන ආකාරය දැක්වෙන වගුව පහත පරිදි වේ.

මෙහිදී දුම්රිය මාර්ගය තුළට අපරීක්ෂාකාරී ආකාරයෙන් මෝටර් වාහන ධානය කිරීම නව දඩයකි.

මීට අමතරව නියමිත වයසට අඩු වයසේ තැනැත්තන් රිය පැදවීම, අපරික්ෂාකාරීව හෝ අනතුරුදායක ආකාරයකින් හෝ අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කිරීම, වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව රිය ධාවනය, ජංගම දුරකථන භාවිතය යන වැරදි සඳහාද ඉදිරියේදී දඩ මුදල් වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.

Read more

Local News