තිස්සට එරෙහි නඩුව කෙටි මාර්ගයකින් අවසන් කරන්න දින දෙයි

Share

ඉකුත් ජනාධිපතිවරණය සමයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කරමින් ජාතීන් අතර සුහදතාව කඩාකප්පල් කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව කෙටි මාර්ගයකින් අවසන් කර ගැනීමට විත්තිය සහ පැමිණිලි පාර්ශවය ගන්නා පියවර මේ මස 24 වනදා වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(04) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේදී කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට අදාළව අයිතිකරු විසින් කිරීමට අපේක්ෂා කරන ප්‍රකාශය පිළිබඳව අවසන් වශයෙන් දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන මෙන් ඉල්ලීමක් කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ද අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීම සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශවය හා විත්තිකරු අතර යම් සංහිඳියාවක් ගොඩ නැඟී ඇති හෙයින් මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට හැකියාවක් තිබෙන බව දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු විකුම් කළුආරච්චි මහතා දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දන්වා සිටියේ මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව මේ මස 24 වනදා අධිකරණය දැනුවත් කර ලෙසයි.

පසුගිය ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට සඳහන් කූඨ ලේඛනයක් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රදර්ශනය කිරීම තුලින් ජාතීන් අතර පවතින සුහදතාවය කඩාකප්පල් කිරීමට ක්‍රියා කිරීම තුළින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළීබඳ ප්‍රඥප්තිය පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කර තිබූ අතර ඔවුන්ට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා හතර වතාවක්ම සිතාසි නිකුත් කර තිබුණත් ඔවුන් රාජකාරිමය හේතූන් මත අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

Read more

Local News