අළුත් අවුරුද්දෙන් පසුව විදුලි කප්පාදුව නතර කරනවා – රවී

Share

සිංහල දෙමළ අළුත් අවුරුද්දට පමණක් නොව ඉන් පසුවත් විදුලි කප්පාදුව නතර කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ(03) පෙරවරුවේ මිලාගිරිය ශාන්ත පාවුලු විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ,

” අද දේශපාලනය ලෙහෙසි ගමනක් නෙමෙයි. සමහරු ඇති දේවල් නැති කරනවා. නැති දේවල් ඇති කරනවා. ඒ වගේ බැරෑරුම් ගමනක් යන දේශපාලඥයෙක් තමයි මම. මම මේ විදුලිබල ක්ෂේත්‍රය බාර අරගෙන තවමත් දින 72 යි.

මට පැවැරිලා තිබෙන්නේ අමාරු රාජකාරියක්. නමුත් මේ සිංහල දෙමළ අවුරුද්දට ඉස්සෙල්ලා, වසර 15 ක් මේ රටේ ඇණහිටලා තිබුණ, ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්න බැරිවෙලා තිබෙන ප්‍රශ්නය, මම සදහටම විසදනවා.

ඒක විශ්වකර්මයක් නෙමෙයි. තාවකාලිකව අප සිදුකරන ඒ දේ, වසර එකහමාරකින් ස්ථිරව ඉටුකරන්න පුළුවන් ක්‍රමවේදයක් අපි පාර්ලිමේන්තුවේදි හෙළිදරව් කළා.

ජනාධිපති, අගමැතිගේ අවසරය පරිදි ඉදිරියේදී එක මිනිත්තුවක්වත් විදුලිය ඇණහිටීමක් නැතිවන ආකාරයෙන් කටයුතු කරන්නයි අපි බලාපොරොත්තු වෙනවා.

අපේ අද පවතින විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න බැරි ප්‍රධානම කරුණ තමයි මේ පවතින වියලි කාලගුණික තත්ත්වය. ඒ වගේම හරි වේලාවට නිසි තීන්දු තීරණ නොගැනීමත් මෙයට බලපාන හේතුවක්.

2010 ඉදලා එකම මෙගාවොට් එකක්වත් අපේ ජාලයට එකතු වෙලා නැහැ. මේ ක්‍රමය අපි වෙනස් කල යුතුයි. මේ සදහා විදුලිය පිරිමැසීමත් අත්‍යාවශ්‍යයි. අපි රු. 23.00 කට නිපදවන ඒකකයක් දෙන්නේ රු. 16.00 කට. රු.7.00 ක පරතරයක් තියෙනවා.

මේ පරතරයේ අලාභය වර්ෂයකට බිලියන 80 ක් වෙනවා. දළ දේශීය නිෂ්පාදනයෙන් මෙම අලාභයන් වෙනුවෙන් 6%ක් වගේ ප්‍රමාණයක් වෙන්කරනවා. මේ තත්ත්වය දැන් දරාගන්න බැරි මට්ටමට ඇවිත් තිබෙන්නේ.

නමුත් මම වගකීමෙන් කියන්න කැමතියි,  සිංහල දෙමළ අළුත් අවුරුද්දට පමණක් නෙමෙයි ඉන් පසුවත් විදුලි කප්පාදුව නතර කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

Read more

Local News