හම්බන්තොට තෙල් පිරිපහදුව හා සිමෙන්ති කම්හලෙන් රැකියා 6000ක්

Share

ඇමරිකානු ඩොලර් බිලියන 7ක විදේශ ආයෝජනයෙන් හම්බන්තොට මිරිජ්ජවිල ඉදිකෙරෙන තෙල් පිරිපහදුව, තෙල් ටැංකි සංකීර්ණය සහ සිමෙන්ති කම්හලේ නිෂ්පාදන ඇරඹීමෙන් පසු 6000කට රැකියා අවස්ථා සැළසෙනු ඇතැයි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා පවසයි.

සිමෙන්ති කම්හලේ ඉදිකිරීම් දැනටමත් සිදුකෙරෙමින් පවතින අතර තෙල් පිරිපහදුව සඳහා ඉඩම් පවරාදීමේ කල්බදු ගිවිසුම ඉදිරි දින කිහිපය තුළ අත්සන් කිරීමට නියමිත් බවත් ඉන්පසු ඉක්මනින්ම එහි ඉදිකරීම්ද ආරම්භ කරනු ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(05) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

තෙල් පිරිපහදුවේ නිෂ්පාදන ආරම්භ කිරීමෙන් පසු පොහොර කම්හලක් සහ ඛනිජතෙල් ආශ්‍රිත ද්‍රව්‍ය නිපදවන කම්හලක්ද පිහිටුවීමට එහි ආයෝජකයින් සැලසුම් කොට තිබේ.

එමෙන්ම හම්බන්තොට තෙල් පිරිපහදුව මගින් පිරිපහදු කරනු ලබන ඛනිජ තෙල් අග්නිදිග ආසියානු කලාපයේ රටවලට අපනයනය කිරීමෙන් ශ්‍රි ලංකාවට විශාල ආදායමක් ලබා ගත හැකි බවද නලින් බණ්ඩාර මහතා පැවසීය.

මෙම තෙල් පිරිපහදුව සඳහා ආයෝජනය කරන සිල්වර් පාක් නම් සිංගප්පූරු සමාගමේ මව් සමාගම ඉන්දියාවේ විශාල ව්‍යාපාර ජාලයක් හිමි අර්කොට් සමාගමයි. තරුපහේ හෝටල්, නිවාඩු නිකේතන, රෝහල් හා විදුලිබලාගාර පවත්වාගෙන යන එම සමාගමේ වත්කම ඩොලර් බිලියන 7කි.තෙල් පිරිපහදුව සඳහා වන ආයෝජනයෙන් 70%ක් සිල්වර්පාර්ක් සමාගම විසින් දරනු ලබන අතර අනෙක් 30% ආයෝජනය කරනු ලබන්නේ ඕමාන රජයට අයත් ඛනිජ තෙල් හා ගෑස් සමාගම විසිනි.

මෙම ව්‍යාපෘතියෙන් 5%ක කොටසක්වත් ලංකා ඛනිජතෙල් සංස්ථාවට ලබා ගැනීම ගැන ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය ඇමතිවරයා තවදුරටත් කීය.

හම්බන්තොර සිමෙන්ති කම්හල ගැන සඳහන් කල බණ්ඩාර මහතා එය ශ්‍රී ලාංකික ආයෝජකයෙකු විසින් ඉදිකරගෙන යන බවත් මේ වසර අවසානයේ එහි නිෂ්පාදන ඇරඹිය හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් පැවසිය. මෙම ආයෝජකයා විසින්ම හොරණ ඉදිකරමින් පවතින රජිඩ් ටයර් කම්හලේ වැඩ 60%ක් දැනට අවසන් වී ඇති බවත් එහි නිෂ්පාදන කටයුතුද මේ වසර අවසානයේ ආරම්භ කරනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

Read more

Local News