දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවය – ජනපති අවධාරණය කරයි

Share

අද ලෝකයේ බොහෝ දෙනා ගොදුරු වන බෝ නොවන රෝග අතරින් ප‍්‍රධාන රෝගයක් වන දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කරයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් ඊයේ (12) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී සංවිධානය කර තිබූ ජාතික දියවැඩියා දින පා ගමනට එක් වෙමිනි.

දියවැඩියාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ එය වළක්වා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් දියවැඩියා මාසයක් නම් කර දිවයින පුරා සියලු රෝහල්වල සහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලවල සහභාගිත්වයෙන් එම මාසය තුළ දීප ව්‍යාප්ත ජාතික වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට ද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.

එමෙන්ම විවිධ සමාගම් විසින් වෙළෙඳ පොළට නිකුත් කරන කිරි පැකට්වල අන්තර්ගත සීනි ප‍්‍රමාණය ප‍්‍රදර්ශනය කිරීම සහ පසුගිය අයවැයෙන් තීන්දු කළ පැනි බීම බද්ද ඊට අදාළව කි‍්‍රයාත්මක වීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර මෙවන් නිෂ්පාදන පිළිබඳ අදාළ තීන්දු තීරණ ගැනීමට තමා ඉදිරියේ දී දැඩිව කටයුතු කරන බව ද අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග කාර්යාංශය, ශ‍්‍රී ලංකා දියවැඩියා සම්මේලනය සහ ශ‍්‍රී ලංකා දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් මෙම පා ගමන සංවිධානය කර තිබුණි.

 

 

 

Read more

Local News