පිලිපීනයෙන් හමු වූ සාක්ෂි මානව ඉතිහාසය අලුතින් ලියයි

Share

 

පිලිපීනයේ විශාලතම දූපත ලෙස සැලකෙන ල්‍යුසෝන් (Luzon) දූපතේ පිහිටි කැලවෝ කේව් නමැති හුණුගල් ගුහාවෙන් වඳ වී ගිය මානව වර්ගයක සාක්ෂි හමු වී අතැ. ඒ සමගම මානව පවුලේ ඉතිහාසය අලුතෙන් ලිවීමට සිදුව තිබේ.

එම මානව වර්ගය හෝමෝ ල්‍යුසොනෙන්සිස් ලෙස නම් කර ඇති අතර එම මානව වර්ගයේ ශාරීරීක ලක්ෂණ, ආදි මානවයින්ගේ සහ මෑත කාලීන මානවයින්ගේ ලක්ෂණවල එකතුවක් ලෙස සැලකේ.

පිලිපීනයේ ල්‍යුසෝන් දූපතේ පිහිටි කැලවෝ කේව් නමැති හුණුගල් ගුහාවේ තිබී සොයා ගැනුණු සාක්ෂි Nature සඟරාවෙහි පළ කර තිබේ. එම අස්ථි කැබලි වසර 67000 – 50000කට පෙර කාලයට අයත් බව නිර්ණය කර තිබේ.

එහිදී අස්ථි කොටස් 13ක් සොයාගෙන තිබේ. ඒ අතර, දත්, අතක අස්ථියක්, පාද අස්ථි මෙන් ම කලවා අස්ථියක් ද වේ. එම කොටස් වැඩිහිටියන් තිදෙනෙකුට සහ කුඩා දරුවෙකුට අයත් බවට තහවුරු කරගෙන ඇත.

හෝමෝ ල්‍යුසොනෙන්සිස් නමැති මානව විශේෂය වත්මන් මානවයින්ගේ ලක්ෂණවලට සමාන ශාරීරික ලක්ෂණවලින් යුක්තය. එහෙත්, සෙසු ශාරීරික ලක්ෂණ australopithecine නමැති විශේෂයට සමානය. ඔවුන්ගේ ඇවිදීම වසර මිලියන 4කට පෙර අප්‍රිකාවේ විසූ මුල් කාලීන මානව විශේෂවලට සමාන වානර ලක්ෂණවලින් සමන්විතය.

ඔවුන්ගේ ඇඟිලි සහ පාද අස්ථි වක්‍ර ස්වභාවයකින් යුක්ත වන අතර, ඔවුන්ගේ ජීවන රටාව තුළ ගස් හෝ කඳු නැගීම වැදගත් අංගයක් වන්නට ඇත. මෙම ලක්ෂණ ද australopithecine නමැති මානව විශේෂයට බෙහෙවින් සමානය.

australopithecine මානව විශේෂයට සමාන මෙම නව මානව විශේෂය අග්නිදිග ආසියාවට සංක්‍රමණය වූවා නම්, අප්‍රිකාව හැර ගිය පළමු මානව විශේෂය කවුරුන් ද යන්න පිළිබඳව නව මතයක් ඉදිරිපත් වනු ඇත.

වසර මිලියන 1.9කට පෙර පළමු වරට අප්‍රිකාව හැර ගිය පළමු මානව සාමාජිකයා හෝමෝ ඉරෙක්ටස් (Homo erectus) බව බොහෝ කාලයක සිට පවතින මතයයි.

ල්‍යුසෝන් දූපතෙන් හමුවූ අස්ථි කොටස් අයත් මානව විශේෂයට එම දූපතට ළඟා වීමට තිබූ එක ම මාර්ගය මුහුදයි. මෙම සොයා ගැනීම් අනුව මතු වන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ, ආදි මානව විශේෂ දූපතට ළඟා වූයේ කෙසේ ද යන්නය.

බීබීසී විද්‍යා සංස්කාරක පෝල් රින්කන්ගේ ලිපියක් ඇසුරෙනි.

Read more

Local News