ලංවිම ගැන රවී කියන දේ මෙන්න

Share

රාජකාරියේ යෙදී සිටියදී ජීවිත අහිමිවන ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් වෙනුවෙන් පවුලේ සාමාජිකයෙකුට සුදුසුකම් මත ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියා අවස්ථාවක් ලබා දෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් සපීරීම නිමිත්තෙන්, එහි වසර 30 කට අධික කාලයක සේවය කළ සේවකයින්ගේ දරුවන් වෙනුවෙන් පියපුතු පදනම යටතේ රැකියා ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

10% ක් වූ පියපුතු පදනම මත රැකියා ලබාදීම 12.5% දක්වා ඉහළට නංවා ඇති බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

වර්තමානයේ සිතිය යුත්තේ දේශපාලඥයින් වශයෙන් නොවන බවත් රාජ්‍ය තාන්ත්‍රිකයන් වශයෙනුයි සිතිය යුතු බවත් අමාත්‍යවරයා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“මට පෙනෙන ආකාරයට 1969 ආරම්භ කළ ලංකා විදුලිබල මණ්ඩලය, එදා සිට අද වනතෙක් හිතන ආකාරය කිසිම වෙනසක් සිදුවෙලා නැහැ. එදා ආරම්භ කළ වැඩපිළිවෙලම අද ගෙනියනවා. කිසිම නවීකරණයක් සිදුවෙලා නැහැ. කොහොමද ආයතනයක් මේ විදියට ඉදිරියට යන්නේ.

මේ දේවල් වෙනස් කළ යුතුයි. හොදම උදාහරණය තමයි අපි නිවාස වලට අළුතින් විදුලි සබදතා ඉල්ලුම් කළාම, ඒ ගැන සොයා බලලා, ඒක ලබාදෙන්න මාසයක් විතර යනවා.

ඒ වගේම මාසයක් ගානේ අපේ මනු කියවන්නෝ ගෙවල් ගානේ ගිහින් මීටරය කියවගෙන එනවා බිල සකස් කරන්න. නමුත් මේ දේ ගෙවල් ගානේ නොගිහින් සුහුරු මනු මගින් කාර්යාල තුළ ඉදලම කරන්න දැන් නවීන ක්‍රම තිබෙනවා.

එවැනි දේවල් ගැන සොයා බලා අපි වෙනස්කම් ඇතිකළ යුතුයි. තවමත් අපි ගල් යුගයේ ජීවත් වෙනවාද නැතිනම් ඉදිරියට යනවාද කියලා අපි දැන් තීරණය කල යුතුයි.  අපි වෙනස්වන ලෝකයත් සමග ඉදිරියට යන්නනම්, ඒ ආකාරයෙන් අපිත් වෙනස්විය යුතුයි.

මම දවස් 89 කට කළින් බාර ගත්තේ නොදන්නම ක්ෂේත්‍රයක්.  බාරගත්තාට පස්සේ තමයි දන්නේ ගිනි බෝලයක් බාරගත්තේ කියලා. ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ ජනතා සේවයක් සපයන විශිෂ්ඨ ආයතනයක් කියලා අපි මාස 03 ක් යනකොට ජනතා සිත් තුළ ඇතිකරනවා.

අපි දින 23 කට විදුලි කප්පාදුවක් සිදුකළා අඛණ්ඩ සේවයක් සපයනවා කියලා පොරොන්දුවක් දීලා කටයුතු කළානම්  කොහොමද මේ වෙනස ඇති වුණේ. මේකට පිළිතුරු සෙව්වොත්, එන්නේ එකම තැනකට. ඒ තමයි රජයෙන් නිවැරදි තීන්දුවක් ගත්තේ නැහැ කියලා.

අපේ වැය ශීර්ෂය අවස්ථාවේදි කාටවත් දොස් කියන්නේ නැතිව, ඉතිහාසයේ සියලුම පව් මගේ කරපිටට අරගෙන මම කිව්වා උන දේ උණා, මින් පස්සේ එන විදුලිබල ඇමතිවරයෙකුට කිසිම ගැටළුවක් මතුනොවන විදියට අඩිතාලමක් තියනවා කියලා.

වැරැද්ද වෙනකෙනෙක්ට පවරන එක හරිම ලේසියි. ඒ විදියට ගියාම වසර ගණනාවක් තිස්සේ හිටිය සියලුදෙනාටම වැරැද්ද පැටවෙනවා. නමුත් මින්පසු ඒ විදියට කිසිම කෙනෙක් වගනොකියන විදියට වැඩ කරන එක මගෙත් ඔබගේත් වගකීමක් මෙන්ම යුතුකමක්.

ඒ අභියෝගය අපි භාරගන්නවා. මේක තමයි නවීකරණය.  ඒ අනුව වැඩකරලා තමයි අපි විදුලි කප්පාදුව නැවැත්තුවේ.”

Read more

Local News