ඇ.ඩොලර් කෝටි 74ක ණය නිසා මූල්‍ය පාලනය මුළුමනින්ම කඩා වැටී තිබූණා – අගමැති

Share

ශ්‍රී ලංකන් ආයතනය සඳහා පසුගිය රජය සමයේ ලබාගෙන ඇති ණය මුදල අමෙරිකානු ඩොලර් කෝටි 74 ක් බවත් එම කාලය තුළ මූල්‍ය පාලනය මුළුමනින්ම කඩා වැටී තිබූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13) පැවසීය.

ඒ රජයේ ගිණුම් නිවැරදි ලෙස පවත්වාගෙන යමින් නිවැරදි මූල්‍ය ක්‍රමවේදයක් පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතන වලට ඇගයීම් සම්මාන පිරිනැමීම නිමිත්තෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (13) පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

රාජ්‍ය මුදල් පාලනය පාර්ලිමේන්තුව විසින් සිදුකළ යුතු වුවත් පසුගිය කාලයේදී රාජ්‍ය ගිණුම් කාරක සභාවන් පවා අමතක කර කටයුතු කළ බවත් අගමැතිවරයා සිහිපත් කෙළේය. පසුගිය පාලන සමයේදී ඇතැම් ව්‍යාපෘති වෙනුවෙන් ලබාගෙන තිබූ ණය මුදල් වලින් එක් ව්‍යාපෘතියක් නොව ව්‍යාපෘති දෙක තුනක් වුව ආරම්භ කිරීමේ හැකියාව තිබූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කීය.

ශ්‍රී ලංකන් ආයතනය වෙනුවෙන් ලබාගෙන ඇති ණය මුදල් වලින් කෝටි හතලිහක මුදලක් රජයේ බැංකු දෙකකින් හා මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට සිදුව ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය. ණය බරින් රට බේරාගෙන සංවර්ධනය කිරීම පාර්ලිමේන්තුව තුළින් කළයුතු බව ණය බර ඉදිරි පරම්පරාවට ඉතිරි නොකර අපගේ පව් අප විසින්ම ගෙවා දැමිය යුතු බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News