පිපිරීම් මාලාව සිදුවු හැටි මෙන්න

Share

දිවයිනේ දේවස්ථාන තුනක සහ ප්‍රධාන පෙළේ හෝටල් තුනක ඊයේ(21) සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රජයේ රස පරීක්ෂකවරයා අද(22) තහවුරු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ක්‍රිස්තූස් වහන්සේගේ මරණයෙන් උත්ථානවීම සිහිපත් කෙරෙන පාස්කු දින දේව මෙහෙයන් පැවත්වෙමින් තිබූ අතරවාරයේ දිවයිනේ ස්ථාන හයක ඊයේ උදෑසන 8.45 ත් 9.00 ත් අතර ප්‍රහාර මාලාවක් එල්ල වුණේ ශ්‍රිලංකාව මෙන්ම සමස්ත ලෝකයම කම්පනයට ලක්කරමින්.

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ , කටාන කටුවාපිටියේ කතෝලික දේවස්ථානයේ සහ මඩකලපුවේ කිතුණු දේවස්ථානය , කොළඹ ෂැංග්‍රිලා , කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන සුපිරි හෝටල පරිශ්‍රවල ඊයේ මෙම පිපිරීම් සිදුවිය.

මේ අතර දෙහිවල සහ දෙමටගොඩ ප්‍රදේශවල පිපිරීම් සිදුවුණු අතර එම සියලු සිදුවීම්වලින් පුද්ගලයන් 290 දෙනකු මිය ගොස් 500 දෙනෙකු තුවාල ලැබීය.

ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල ඇතුලු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන අතර එම රෝහල්වල තැන්පත්කර ඇති මළ සිරුරු හඳුනාගැනීම සඳහා මේවන විට ඥාතීන් රෝහල් කරා පැමිණෙමින් සිටියි.

මේ අතර ඊයේ සිදුවූ ප්‍රහාර මාලාවත් සමග දිවයින පුරා ආරක්ෂාව තර කර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි.

එලෙස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආශ්‍රිතව කළ සෝදිසියකදී ගුවන් තොටුපළ පිවිසුම ආසන්නයේ ආඬිඅම්බලම මාර්ගයේ තිබී,දේශීය වශයෙන් නිපදවු වැඩි දියුණු කරන ලද බෝම්බයක් ගුවන් හමුදාව විසින් සොයාගැනුණි.

එම බෝම්බය අඩි 06ක පමණ දිගකින් යුත් පි.වී.සි නලයක පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කළ එකක් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

අනතුරුව ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය බෝම්බය නිශ්ක්‍රීය කළේය.

මේ අතර කොළඹ කොටුව බැස්ටියන් මාවතේ කළ සෝදිසි මෙහෙයුමකදී ඩෙටනේටර්ස් 87ක් පොලිසිය සොයාගත්තේය.

එහිදී දුරගමන් සේවා බස්රථ සහ මගීන් විශේෂ පරීක්ෂාවකට ලක්කරනු ලැබීය.

මේ අතර ඊයේ සිදුවූ ප්‍රහාර සඳහා  පුපුරණ ද්‍රව්‍ය කොළඹට රැගෙන ආ බවට සැකකෙරෙන වෑන් රථයක්  වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් භාරයට ගැණුනු අතර එහි රියදුරු ද පොලිස් අත්අඩංගුවට ගැණුණි.

පසුව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රහාරයට පැමිණි බවට සැක කෙරෙන පුද්ගලයා නවාතැන් ගෙන ප්‍රහාරවලට සූදානම් වීම සඳහා භාවිත කළ බව කියන පානදුර,පරත්ත,ශෙරීෆ් මාවතේ නිවස සොයා ගැනීමට පොලිසිය සමත්ව වුණා.

එම පුද්ගලයාගේ හිස කොටසේ ඡායාරූපයක් නිවෙස් හිමියාට පෙන්වීමෙන් පසු ඔහු විසින් හඳුනා ගෙන ඇති අතර නිවස පරික්ෂා කිරීමේදී බෝම්බ සෑදීමට යොදා ගන්නා අමු ද්‍රව්‍ය තොගයක් ,බෝම්බ පරිපථ සැළැස්මක් හා ජංගම දුරකතන කොටස්  සිම් කාඩ් පතක් ද සොයා ගෙන තිබේ.

ෂැන්ග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහරය එල්ල කළ පුද්ගලයා මෙම ප්‍රහාර මාලාව සැලසුම් කළ ප්‍රධානියා බවට සැලකෙයි.

ඔහු ජාතික තවුහීත් ජමාන් නැමැති අන්තවාදී සංවිධානයේ නායකයා ලෙස පෙනී සිටි මොහොමඩ් කාසීම් මොහොම් සහාරාන් හෙවත් සහරාන් හෂීම් නැමැත්තා බවට ආරක්ෂක අංශ හඳුනාගෙන තිබේ.

පසුගිය 11 වැනිදා රාජ්‍ය බුද්ධි අංශය මේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු අනාවරණ කර තිබූ අතර එම වාර්තාවෙන්ද මෙම ප්‍රහාරයේ ප්‍රධාන පුද්ගලයා ලෙස හඳුන්වා දී ඇත්තේ මෝහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නමැත්තායි.

මේ අතර දෙමටගොඩ මහවිල මාර්ගයේ මහල් 3කින් යුත් සුඛෝපභෝගී නිවසක ඊයේ පිපිරීම් දෙකක් සිදු වූ අතර එම නිවසේ හිමිකරුගේ පුතුන් දෙදෙනෙකු වන 33 හැවිරිදි ඉම්සාත් අහම්ඩ් ඊබ්‍රහයිම් සහ 31 හැවිරිදි ඉල්හාම් අහමඩ් ඊබ්‍රහයිම් යන අය විසින් සිනමන්ග්‍රෑන්ඩ් සහ කිංග්ස්බරි හෝටල්වල මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බව තහවුරු කරගෙන තිබේ.

ඊයේ මෙම නිවස කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පරීක්ෂා කිරීමට ඉහළට මහලයට ‍ගමන් කළ අවස්ථාවේදී පහළම මහලයේ සිට මෙම නිවසේ සිටි අයෙක් විසින් දුරස්ථ පාලකයකින් බෝම්බයක් පුපුරුවා පොලිස් නිලධාරීන් ඝාතනය කළ බවද සැක කෙරෙයි.

එම නිවෙස් හිමියාගේ එක් පුත්‍රයෙකු වන 30 හැවිරිදි ඉජාස් අහමඩ් ඊබ්‍රහීම්මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ස්මයිල් අහමඩ් ඊබ්‍රහීම් නැමැති මෙම පවුලේ බාල පුත්‍රයා අතුරුදන් වී සිටියි.

මේ අතර පළමු පිපිරීමෙන් පසුව තවත් පොලිස් නිලධාරීන් පිරිසක් නිවස පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එම නිවසේ සිටි 25 හැවිරිදි ෆාතීමා ජිප්රි සහ දරුවන් දෙදෙනා දෙවන මහලේ සිදුවූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්විය.

මෙම පිපිරීම් දෙකම එම නිවසේ සිටි පුද්ගලයෙකු විසින් දුරස්ථ පාලකයකින් සිදු කළේද යන්න පිළිබද පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

අද මෙම පිපිරීම සිදුවූ ස්ථානයට ආසන්න මාර්ගයේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.‍

මෙම බෝම්බ ප්‍රහාර එල්ලකළ පුද්ගලයින්ගේ පියා වන 65 හැවිරිදි අල්හාජ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රහියිම් නැමැත්තා පොලිසිය විසින් ඊයේ අත්අඩංගුව ගත් අතර ඔහු පසුගිය මහමැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේන් ජාතික ලැයිස්තුවෙන් තරග කළ අපේක්ෂකයෙක්ද වෙයි.

එල්ලවූ මෙම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේවනවිට කාන්තාවන්ද ඇතුළුව පුද්ගලයින් 24 දෙනෙකු අත්ඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර ෂැංග්‍රිලා හෝටලයේ පිපිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 9 දෙනා මැයි මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ අතර ප්‍රහාරය සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හඳුනාගැනීම ආරක්ෂක අංශ මේ වනවිට සිදුකරන අතර දෙහිවල නවාතැන්පොළකදී බෝම්බයක් පිපිරවූ පුද්ගලයා එය පුපුරවාගෙන තිබෙන්නේ නවාතැන්පොළේ සේවකයන් ඔහුව පරීක්ෂා කිරීමට යාමේදීයි.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට බෝම්බය රැගෙන ආ බවට සැලකෙන  පුද්ගලයාගේ හිස කොටස ඊයේ රාත්‍රියේ සොයාගත් අතර එය අද ඒ පිළිබදව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේය.

මේ අතර  කටාන කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ලකළ බවට සැක කෙරෙන පුද්ගලයා දේවස්ථානයට ඇතුළු වන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් ඊයේ මාධ්‍යයට නිකුත් වී තිබුණු අතර ඔහු හදුනාගැනීම පිළිබදවද පරීක්ෂණ මේ වනවිට සිදු වෙයි.

මේ අතරතුර මඩකලපුව නගර මධ්‍යයේ පිහිටා ඇති සියෝන් කතෝලික දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා දේවස්ථානයට ඇතුල් වන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අද මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.

මේ අතර පිපිරීමක් සිදුවූ කොළඹ පිහිටි ෂැන්ග්‍රිලා හෝටලය තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය අද තීරණය කළ අතර අප කොළඹ හෝටල් ආශ්‍රිතව සිදු කළ සංචාරයකදී දැකගත හැකි වූයේ විදේශ සංචාරකයින් වෙනුවට විදේශ මාධ්‍යවේදින් රැසක් එහි සිටින ආකාරයයි.

මේ අතර අද උදෑසන 6ට පොලිස් ඇදිරිනීතිය ඉවත් කෙරුණද කොළඹ නගරය දැඩි පාලු ස්වභාවයක් ගෙන තිබුණි.

Read more

Local News