දෙමටගොඩදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ජවිපෙ නොවේ -ජවිපෙ

93

රට තුළ අනාරක්ෂිතභාවයක් හා නොසන්සුන්තාවයක් මතුව ඇති මේ අවස්තාවේදීත් සමහර බංකොලොත් දේශපාලන කණ්ඩායම් ‘බොරදියේ මාළු බෑමේ’ උත්සාහයක නිරත වන බව පෙනෙන්නට තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුත්කි පෙරමුණ පවසන්නේ
ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කොට අවලාද නැගීම එවැනි උත්සහයක් බව යි.

එබැවින් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතු යැයි පවසන එම පෙරමුණ නිකුතු කළ නිවේදනයේ මෙසේ සඳහාන් වේ.

මෙ සිදුවීමට අදාළව දෙමටගොඩදී අත්අඩංගුවට ගනු ලැබ ඇති එක් පුද්ගලයෙක් 2015 මහ මැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කළ අයෙක් බව තහවුරු වී තිබේ.

මෙම පුද්ගලයා ජවිපෙ සාමාජිකයෙක් හෝ ක‍්‍රියාකාරිකයෙකු නොවේ.

ජවිපෙ ජාතික ලැයිස්තුවට නම් යෝජනා කරනු ලැබුවේ මැතිවරණයකදී තරඟ නොකරන විවිධ වෘත්තීන්ට හා විවිධ ජාතිකත්වයන්ට අයත් අයට අවස්ථාවක් දීම සඳහාය.

ජවිපෙ මෙවැනි ම්ලේච්ඡු ක‍්‍රියා අනුමත කරන පක්ෂයක් නොවන බවත් විනයගරුක හා වගකීමෙන් කටයුතු කරන පක්ෂයක් බවත් කුහක නොවන හෘදයසාක්ෂියක් ඇති සියලූ දෙනාම දන්නා කරුණකි.

එසේ තිබියදී මෙම සිදුවීමට අදාළ වූ සැකපිට අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු පදනම් කරගෙන ජ.වි.පෙ.ට අවලාද නැගීම බංකොලොත් දේශපාලන කණ්ඩායම් විසින් දුෂ්ට අරමුණින් සිදුකරන ක‍්‍රියාවකි.

මෙම සිදුවීමේදී අදාළ පුද්ගලයා හෝ ඔහුගේ පවුලේ අය මෙයට කිසියම්ම හෝ සම්බන්ධතාවයක් තිබේනම් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඩුවම් කිරීම ආරක්ෂක අංශවල කාර්යයක් වන අතර ඒ සඳහා ඕනෑම සහයක් ලබාදීමට ජ.වි.පෙ.ත් සූදානම් බවද අවධාරණය කළ යුතුය.

අවසාන වශයෙන් අවධාරණය කළ යුත්තේ, විවිධ පන්නයේ වංචාවලට දුෂණවලට වගකිව යුතු දුෂිතයන් සිය නිරුවත වසා ගැනීම සඳහාත් තම පටු දේශපාලන වුවමනාවන් සඳහාත් මෙවැනි සංවේදී සිදුවීම් යොදාගනිමින් ජනතා විමුක්ති පෙරමුණට අවලාද නැගීමට ඉදිරිපත් වීම කණගාටුවට කරුණක් බවය.

එය වගකිව යුතු සියලූ දෙනා විසින් ප‍්‍රතික්ෂේප කළ යුතු ක‍්‍රියාවකි.

එබැවින් මෙවැනි අවලාදවලින් නොමඟ නොයන ලෙසත් මෙම සංවේදී මොහොතේ වගකීමෙන් යුතුව එක්ව කටයුතු කරන ලෙසත් අපි සියලූම ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමු යනුවෙනි.

ඒ සමඟම රට තුළ යළි සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට හැකි ආරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ බලධාරීන් ඇතුළු සියලු දෙනාගේ වගකීම බව පවසන ජනතා විමුක්ති පෙරමුණ

නිරායුධ අහිංසක සිවිල් පුරවැසියන් 300කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි කරමින් හා 500කට වැඩි ප‍්‍රමාණයකට තුවාල සිදුකරමින් පසුගිය 21දා එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරයෙන් පසු මේ වනවිට රට තුළ අනාරක්ෂිතභාවයක් හා නොසන්සුන්තාවයක් මතුව ඇති බව ද පෙන්වා දෙයි.

මෙම ප‍්‍රහාරය වළක්වා ගැනීමට ආරක්ෂක අංශ හා ආණ්ඩුව අසමත්ව ඇති බව පැහැදිලිව පෙනෙන බැවින් දැන් බලධාරීන් විසින් කළ යුත්තේ එකිනෙකාට දොස් පවරමින් තම වගකීමෙන් මිදීම නොව අදාළ වගකීම් භාරගෙන මෙවැනි තත්වයන් යළි ඇති නොවීමටත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් විපතට පත්වූවන්ට සහන සැලසීමටත් පියවර ගැනීම බවද ජවිපෙ කියයි.