ඊයේ(26) පස්වරුවේ කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයේදී පිපිරීම හා වෙඩි හුවමාරුව සිදුවු නිවස තුළ සහ ඒ අසල තිබී පුද්ගල මළ සිරුරු 15 ක් සොයාගැනීමට ආරක්ෂක අංශ අද(27) උදෑසන සමත් විය.
මෙහිදී මියගිය ත්‍රස්තවාදියෙකු සතුව තිබූ ටී 56 ගිනිඅවිය මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකුගේ ගෙල කපා මරා දමා ලබාගත් ගිනි අවිය බවට පොලීසිය විසින් සැක පළ කරයි.
මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකෙරෙන පිරිමි පුද්ගලයින් හය දෙනෙකුගේ මෙන්ම කාන්තාවන් තිදෙනෙකුගේ හා කුඩා දරුවන් හය දෙනෙකුගේ මළ සිරුරු ඊට අයත්.
කල්මුණ පොලිස් ස්ථානයට අනුයුක්ත රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට ඊයේ පස්වරුවේ සයින්දමරදු ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පුද්ගලයින් පිරිසක් සිටින බවට තොරතුරක් ලැබුණි.
නිවස පරික්ෂා කිරීමට පොලිස් නිලධාරියා ගිය අවස්ථාවේදී නිවසේ සිටි පුද්ගලයෙකුගෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල විය.
එම ප්‍රහාරයෙන් දිවිගලවාගත් පොලිස් නිලධාරියා එම ස්ථානයෙන් පළා ගොස් ඒ පිළිබඳව ඉහළ පොලිස් නිලධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාවද එක්ව නැවත එම නිවස වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කළේය.
සවස 6 ට පමණ නිවස වැටලීමත් සමඟ නිවසේ සිටි පුද්ගලයින්ගෙන් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වූ අතර එහිදී ආරක්ෂක අංශද ප්‍රති ප්‍රහාර එල්ල කර තිබුණි.
මෙම වෙඩි තැබීම සිදුවන අතරතුර නිවසේ සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිපිරීම් තුනක් සිදුකරනු ලැබීය.
රාත්‍රී 8 පමණ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම යුද හමුදාව යටතට ගනු ලැබීය.
ආරක්ෂක හේතුන් මත රාත්‍රියේ පරික්ෂා කිරීමේ කටයුතු සිදුනොකළ අතර අද අලුයම නිවස පරික්ෂා කිරීමේ කටයුතු යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිසිය එක්ව ආරම්භ කළේය.
නිවස තූළ තිබී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකෙරෙන පිරිමි පුද්ගලයින් තිදෙනෙකුගේත් , කාන්තාවන් තිදෙදනෙකුගේ මෘත ශරීර සහ කුඩා දරුවන් 6දෙනෙකුගේ මෘත ශරීර සොයා ගනු ලැබීය.
තවත් පුද්ගලයින් තිදෙනෙකුගේ මෘත ශරීර නිවසෙන් පිටත තිබී පොලීසිය විසින් සොයාගනු ලැබීය.
ඉන් එක් අයෙකුගේ අතෙහි ටී 56 වර්ගයේ ගිනි අවියක් ද තිබුණි.
මේ අතර ආරක්ෂක අංශ එම නිවස තුළට යන විටත් මරාගෙන මැරෙන බෝම්බ පිපිරිම් කිහිපයක් සිදුව තිබියදීත් නිවස තුළ නිරුපද්‍රිතව සිටි කුඩා දැරියක් සොයගැනීමට යුද හමුදාව සමත් විය.
එසේම බරපතළ තුවාල ලැබූ කාන්තාවක්ද මෙම නිවස තුළ සිටියාය.
බරපතළ තත්ත්වයෙන් තුවාල ලබා සිටි කාන්තාවක් සහ කුඩා දරුවෙකු යුද හමුදාව මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමට පියවර ගත්තේය.
බෝම්බ පිපිරීමෙන් මියගිය පුද්ගලයින් මෙම ප්‍රදේශයට පැමිණ ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේ සිටයි.
ඔවුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණුව ලබා සිටි අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා සිදුවන පරික්ෂණවලින් බේරීම සඳහා මෙම පිරිස සයින්දුමරදු ප්‍රදේශයට පැමිණ තිබුණි.
ඩෙටනේටර් 323, ජෙලට් නයිට් කූරු තොගයක්, මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොදාගත් බෑග් 3ක් මෙම නිවස පරික්ෂා කිරිමේදී සොයාගෙන තිබේ.
මේ අතර ප්‍රදේශයේ ජනතාව තාවකාලිකව සිය නිවෙස්වලින් ඉවත් කිරිමට අද දහවල් ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා.
ඒ සෝදිසි මෙහෙයුම්වලට පහසුවක් වීම සඳහායි.
මේ අතර කල්මුණේ, චාවලකඩේ, සමන්තුරේ යන ප්‍රෙද්ශවලට නැවත දැනුම් දෙන තුරු පැනවු පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.