අරාබි පාසල්-මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නෑ

Share

අරාබි පාසල් හෝ මද්‍රසා පාසල් කිසිවක් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වීමක් හෝ නියාමනය වීමක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි.

පසුගිය දිනවල ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයින් විසින් මෙම පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති බවත් ඒවායේ සිදුවන අන්තවාදී ඉගැන්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වගකිව යුතු බවත් සඳහන් කරමින් ප්‍රකාශ නිකුත් කරන ආකාරය නිරීක්ෂණය වූ බවත් එවන් පාසල් කිසිවක් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වීමක් හෝ නියාමනය වීමක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

මෙම සියලු ප්‍රකාශයන් පදනම් විරහිත අතර අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරී ඇති බලතල අනුව ඒ යටතේ ක්‍රියාත්මක ජාතික පාසල්, පළාත් පාසල්, රජයේ අනුමත පුද්ගලික පාසල්, උපකෘත විශේෂ පාසල් හෝ පිරිවෙනකට අයත් වන කිසිදු ස්ථානයක මෙම අරාබි පාසල් හෝ මද්‍රසා පාසල් ක්‍රියාත්මක නොවන බව නිළධාරීන් විසින් තවදුරටත් තහවුරු කර ඇති බවත් මින් අවධාරණය කරන අතර එවැනි ස්ථාන නියාමනය කිරීමේ බලයක් ද අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නොමැති බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

Read more

Local News