ෆොන්සේකා වෙනුවෙන් අර්ජුන ඉල්ලා අස්වෙයිද ?

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය, සාමය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම්, ඒ වෙනුවෙන් තමන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායම් රැස්වීම පැවැති අතර, එහිදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

එමෙන්ම සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට අමාත්‍ය ධුරයක් ලබාදෙන්නේ නම් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඕනෑම අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීමට සූදානම් බවද එකසත් ජාතික පෙරමුණ අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට අමාත්‍ය ධුරයක් ලබාදිය යුතු බව කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් යෝජනා කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාම් මන්ත්‍රීවරයා විසින් එය ස්ථිර කර ඇත. එම අවස්ථාවේදී අර්ජුන රණතුංග මහතා විසින් සිය යෝජනාව සිදුකර ඇති අතර, කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වන තමන්ට කැබිනට් නොවන අමාත්‍ය ධුරයක් ලබාදෙන ලෙසද ඉල්ලීමක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාගෙන් අද කළ විමසීමේදී මන්ත්‍රීවරයා විසින් එම කරුණු තහවුරු කරනු ලැබූ අතර, අර්ජුන රණතුංග මන්ත්‍රීවරයාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බවද සඳහන් කළේය.

සරත් ෆොන්සේකා මහතාට එම අමාත්‍ය ධුරය ලබාදෙන ලෙස එක්සත් ජාතික පෙරමුණ පසුපෙළ මන්ත්‍රීවරුන්ද සිය අත්සන් සහිත ලිපියක් සකස් කර ජනාධිපතිවරයාට යොමු කිරීමටද කටයුතු සකස් කර තිබේ. අදාළ ලිපියට මේ වනවිට මන්ත්‍රීවරුන් 44 දෙනෙකු අත්සන් යොදා ඇති බවද ආශු මාරසිංහ මහතා පැවසීය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලය 30න් සමන්විය යුත අතර, මේ වනවිට එම ගණන සම්පූර්ණ වී ඇති බැවින් සරත් ෆොන්සේකා මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදෙන්නේ නම්, ඒ වෙනුවෙන් කිසියම් ඇමතිවරයෙකු ඉල්ලා අස්විය යුතුව ඇත.

එලෙස ඉල්ලා අස්වීමට අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන ඕනෑම අමාත්‍යවරයෙකු සූදානම් බව එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ, රටේ ආරක්ෂක තත්ත්වයට අපි යහපත්ව පවත්වාගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි. සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිතුමා කටයුතු කරන්නේ නම්, ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ ඕනෑම අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීමට සූදානම් යනුවෙනි.

Read more

Local News