ජනපති අතින් කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය විවෘත වෙයි

Share

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ගාලු මුවදොර පිටිය ඉදිරිපිට ඉදිකෙරුණු ෂැන්ග‍්‍රිලා හෝටලය ඊයේ (16) දහවල් විවෘත කෙරිණි. පීත්ත පටිය කපා හෝටලය විවෘත කළ ජනාධිපතිතුමා අනතුරුව සමරු ඵලකය ද නිරාවරණය කරනු ලැබීය.

ලොව පුරා ව්‍යාප්තව ඇති ෂැන්ග‍්‍රිලා හෝටල් සමූහයට අයත් 101 ක් වන හෝටලය ලෙස විවෘත කෙරුණු කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලය අතිනවීන පහසුකම් සහිතව ඉදිකර තිබෙන අතර, සේවා නවාතැන් 41 ක් සහ අධි සුඛෝපභෝගී කාමර 34ක් ඇතුළු කාමර 541 කින් සමන්විතය.

එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ ජනාධිපතිවරයා 32වන මහලේ පිහිටි නැරඹුම් මැදිරියේ සිට අවට පරිසරය නිරීක්ෂණය කළේය. ෂැන්ග‍්‍රිලා ආසියා සමාගමේ සභාපති Hui Kuok මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූවාය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, මංගල සමරවීර, ජෝන් අමරතුංග, කබීර් හෂීම්, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ෆයිසර් මුස්තාපා, ඇමැතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සහ‍ දේශපාලනඥයන්, ෂැන්ග්‍රි-ලා ශ්‍රි ලංකා හෝටල් සමුහයේ අධ්‍යක්ෂ සජාඩ් මව්සොන් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News