වෙනිසියුලානු ජනපතිට එරෙහිව හමුදා කුමන්ත්‍රණ ?

Share

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව එරට රජය පවසයි.

විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සන්ධානය සිය ආධාරකරුවන් සමග වීදි බැසීමත් සමඟ වෙනිසියුලාව පුරා කලබලකාරී තත්ත්වයක් උද්ගතව තිබීම ඊට හේතුවයි.

හමුදා සාමාජිකයන් පිරිසකගේ සහාය තමන්ට හිමිවූ බව විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ පසුගියදා පැවසීමෙන් පසු වෙනිසියුලාව පුරා ආරම්භ වු විරෝධතා මේ වන විට දැඩි කලහකාරී මුහුණුවරක් ගෙන තිබේ.

කරාකස් අගනුවර කේන්ද්‍රකරගත් විරෝධතා අතරතුර ආරක්ෂක අංශ සමග ඇති වූ ගැටුම් හේතුවෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වුණි.

නිකලස් මදුරෝ පාලනය පෙරලා දැමීමේ අවසන් අදියර සමග එක්වන ලෙස විපක්ෂ නායකයා පසුගියදා සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ඊට සහාය පළකරමින් ජනතාව වීදි බැස ඇති අතර ඒ සදහා හමුදාවේ පිරිසකගේද අනුබලය ලැබී තිබුණි.

කෙසේ නමුත් හමුදා ප්‍රධානීන් සියලුදෙනාගේම සහාය තවමත් ජනාධිපති මදුරෝ වෙත හිමිව තිබීම විශේෂත්වයකි.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පවසන්නේ, මෙය හමුදා කුමන්ත්‍රණයක් බවයි.

එය මර්දනය කිරීමට පසුබට නොවන බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර විපක්ෂ නායක ගුවයිඩෝට ආධාර ලබාදෙන අමෙරිකාව පවසන්නේ ජනාධිපති මදුරෝ වෙනිසියුලාවෙන් පැනගොස් කියුබාව වෙත යාමට උත්සාහ දරා ඇති බවයි.

කෙසේ නමුත් රුසියාවේ මැදිහත්වීමෙන් පසු ඔහු එම අදහස වෙනස් කරගත් බවද අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ පවසයි.

ජනාධිපතිවරයා පළවාහැරීමට ඔහුගේ සමීපතම ප්‍රධානීන් තිදෙනෙක් පළමුව සහාය පළකර තිබුණත්, පසුව යම් හේතුවක් මත සිය මතය වෙනස්කරගෙන ඇති බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන්ව තිබුණි.

Read more

Local News