ගම්මන්පිලගෙන් රාජිතට එන්තර වාසියක්

Share

ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතාවක් පැවැත් වූ බවට රාජිත සේනාරත්න මහතා පැවසු දෙය අසත්‍යයක් බවත් තමාට කළ අපහාසයට වන්දි ඉල්ලා රුපියල් මිලියන 500 ක එන්තරවාසියක් අමාත්‍යවරයාට යැවීමට බලාපොරොත්තු වන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ(01) දින විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

“තවුහිත් ජමාත් කියන එකේ තේරුම මරාගෙන මැරෙන කල්ලිය කියන එක නෙමෙයි.  තවුහිත් කියන්නේ එකම දෙවියන් වහන්සේ විශ්වාස කරන කියන එකයි.

ජමාත් කියන්නේ සමූහය නැතිනම් කොංග්‍රසය කියන අදහසයි. එකම දෙවියෙක් අදහන සමූහය කියන එකයි තවුහිත් ජමාත් කියන එකේ තේරුම. තවුහිත් ජමාත් කියන පදය ඉස්ලාම් ලෝකයේ ඉතාම සුලභව සංවිධාන නාම සඳහා භාවිතයට ගන්නා පදයක්.

ශ්‍රී ලංකාව තුළත්, ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සිලෝන් තවුහිත් ජමාත් නැෂනල් තවුහිත් ජමාත් යනාදී වශයෙන් විවිධ වූ සංවිධාන ගණනාවක් තියෙනවා.

ශ්‍රී ලංකා තවුහිත් ජමාත් කියන සංවිධානය කුරානය අරාබි බසින් සෘජුව සිංහල බසට පරිවර්තනය කිරීමක් සිදු කළා.

ලංකාවේ බොහෝ කුරාණයන් තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් සිංහල බසට පරිවර්තනය කළ ඒවා. මෙසේ පරිවර්තනය කළ කුරාණයේ පිටපතක් මට ද ලබාදිය යුතුයැයි ඔවුන් තීරණය කරනවා.

2016.01.18 වන දා ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානය ද අයිලන්ඩ් පුවත්පතට ප්‍රකාශ කරනවා ඔවුන්ගේ පරිවර්තනය ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මාත්‍යවරයාටත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රිතුමාටත් දැනටමත් අපි මේ පිටපත් ප්‍රදානය කළා කියලා.

2015. 12. 08 මෙම ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රධාන ලේකම් අබ්දුල් රසාක් ගේ අත්සනින් යුතුව මා වෙත ලිපියක් එවනවා.  රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියපු විදිහට නම් අබ්දුල් රසාක් කියන්නේ  මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරපු ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මහලේකම්.

මට හිතෙන්නෙ මටත් වඩා ලොකු වන්දියක් ඉල්ලා නඩු දාන්න සිදුවෙන්නේ මේ අබ්දුල් රසාක්ට. ඉහත දිනැති ලිපිය යොමු කරමින් මේ අය මගෙන් වෙලාවක් ඉල්ලා සිටිනවා. එහි මෙහෙම සඳහන් වෙනවා. “ අප සංවිධානය විසින් පසුගිය දෙසැම්බර් 08 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ මුස්ලිම් ජනතාවගේ ප්‍රධානතම ධාර්මික මූලාශ්‍රය වන පරිශුද්ධ වූ අල් කුරාණය එළිදැක්වීම.

“මේ ලිපියේ කියනවා සිංහල ජනතාව අතර කුරාණයේ අන්තර්ගතය පිළිබඳව වැරදි අවබෝධයන් තියෙන නිසා මේවා පැහැදිලි කළ වගන්ති සහිත මේ සිංහල පිටපත ඔබතුමාට ලබාදීම කුරාණය පිළිබඳ සිංහල සමාජයේ ඇති අනවබෝධය නැතිවීමට හේතුවක් වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා කියලා.

අපි ඉන්නේ අනවබෝධයෙන් නම් හරි අවබෝධය ලබාගැනීම සඳහා ගෙදරටම ඇවිදින් පිටපතක් ලබා දෙනවා නම් ඇයි අපි බාර නොගෙන ඉන්නේ. ඒ අනුව මම මේ පිටපත භාර ගත්තා.

මමයි මහින්ද රාජපක්ෂ මැතිතුමයි විතරද මේක බාර ගත්තේ.  අන්තර්ජාලයෙ ඡායාරූප තියෙනවා  මෙම ආණ්ඩුවේ අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මැතිතුමා අබ්දුල් රසාක් ගෙන් කුරාණයේ පිටපත් බාර ගන්නවා.

මේ ආණ්ඩුව බලයට ගෙන ඒමේ සටනේ පුරෝගාමියෙක් වෙච්ච දඹර අමිල ස්වාමීන් වහන්සේට ද පිටපතක් පිළිගන්වනවා.දේශපාලනය කරන නමුත් පක්ෂ දේශපාලනයට නැති අපේ මැතිවරණ කොමිසමේ සභාපති  මහින්ද දේශප්‍රිය මැතිතුමාත් එම ඡායාරූපවල ඉන්නවා.

අවසානයේ අබ්දුල් රසාක් කියන ත්‍රස්තවාදියාව මම ආශ්‍රය කරනවා යැයි කියන රාජිත සේනාරත්න අමාත්‍යතුමා ඒ ත්‍රස්තවාදියා එක්ක තමන්ගේ කාමරයේ වාඩිවෙලා හරබර සංවාදයක යෙදිල ඉන්න ඡායාරූපයත් තියෙනවා.

රාජිත අමාත්‍යවරයා කියන විදිහට අබ්දුල් රසාක් කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක මහලේකම් නම් ඔහුව ආශ්‍රය කිරීම සම්බන්ධයෙන් අපට චෝදනා නැගීම ට කලින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජාතියෙන් සමාව අරන් හමුදාවට බාර විය යුතුයි.

රාජිත සේනාරත්න අමාත්‍යතුමනි ඔබ කැපුවේ ඔබේ මිනී වළයි කියන එකයි අපට එතුමාට කියන්නට සිද්ධ වෙන්නේ.”

Read more

Local News