පොහොරවල ගුණාත්මක බව අනිවාර්යෙන් බලන්න

Share

මෙරට නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවල නියමිත සංඝටක ඇතිදැයි සොයා බැලීම අනිවාර්යයන්ම සිදුකළ යුතු බවත්, ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නියාමනයක් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය පී. හැරිසන් මහතා පොහොර සමාගම්හි නිලධාරීන් හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සමාගම් 30ක් පමණ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලියාපදිංචි වී ඇතත්, ඇතැමුන් පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය පිළිබඳ මෙතෙක් විමර්ශන සිදුනොකිරීම පිළිබඳ අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

එසේම කාබනික පොහොර නිෂ්පාදනයේදී සංඝටකයක් ලෙස භාවිතා කරනු ලබන පොස්පරස් සඳහා එප්පාවල පොස්පේට් භාවිත කළ හැකි බව කාබනික පොහොර නිෂ්පාදකයන්ව දැනුවත් කරන ලෙස පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

මේවන විට මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ගබඩාවන් තුළ පවතින බවත්, පුද්ගලික පොහොර සමාගම් සතු ගබඩාවන්හි පවතින ගැටළු කඩිනම්ව විසඳිය යුතුබව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව අනුරාධපුර කිරලෝගම ගබඩාව සඳහා ප්‍රවිෂ්ඨ වන මාර්ගය කොන්ක්‍රීට් යොදා සැකසීමත්,වැලිමඩ සේරුනුවර සහ පදවිය සඳහා නව ගබඩා ඉදිකිරීම සඳහා පියවර ගත යුතු බව මෙහිදී යෝජනා විය.

ඉදිරියේදී රජයේ වතු සඳහා එප්පාවල පොස්පේට් සමාගමේ පොහොර යෙදීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සිය එකඟතාවය පළකළ බවත්, තේ, පොල්, රබර් සඳහා එප්පාවල සමාගමේ පොස්පේට් පොහොර භාවිතය ත්‍රීව කළ යුතු බව අමාත්‍යවරා පැවැසීය.

දැනට සමාගම නිෂ්පාදනය කරනු ලබන මෙට්‍රික් ටොන් 50,000 ක ප්‍රමාණය 70,000 දක්වා වැඩිකළ යුතුබව හෙතෙම කීය.

Read more

Local News