ජලයට වස මිශ්‍ර කර ඇති බවට අසත්‍ය ප්‍රචාරය කළ දෙදෙනා රිමාන්ඩ්

Share

පානීය ජලයට වස මිශ්‍ර කර ඇති බවට මහජනතාව අතර අසත්‍ය ප්‍රචාරයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව කඩාකප්පල් කිරීමට ක්‍රියා කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු ලබන 17 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෝදර පොලීසිය මඟින් අදාළ සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවට පමණූවනු ලැබුවේය.

මෝදර පොලීසිය අධිකරණයට දන්වා සිටියේ බ්ලූමැන්ඩල් පොලිස් වසම් තුළ පානීය ජලයට වස මිශ්‍ර කර ඇති බවට ශබ්දවාහිනී යන්ත්‍ර මඟින් එම සැකකරුවන් අසත්‍ය ප්‍රචාරයක් සිදු කර ඇති බවයි.

ඒ තුළින් ඔවුන් ජාතීන් අතර පවතින සුහදතාව කඩාකප්පල් කිරීමට ක්‍රියා කර ඇති බවත් එමඟින් ඔවුන් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළේ එම සැකකරුවන් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ යම් වරදක් සිදු කර තිබේද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් විමසා උපදෙස් ලබා ගන්නා ලෙසයි.

ඒ පිළිබඳව ලබන 17 වනදා අධිකරණය දැනුවත් කරන මෙන් පොලීසියට නියෝග කළ මහෙස්ත්‍රාත් වරයා එතෙක් සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

Read more

Local News