6 ශ්‍රේණියේ සිට 13 දක්වා සිසුන්ට හෙට පාසල් අරඹයි

Share

පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා වු සිසු දරුවන්ගේ පාසල් අධ්‍යයන කටයුතු සඳහා හෙට ආරම්භ නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා සිටියි.

ඒ අනුව එම ශ්‍රේණිවල දරුවන් සඳහා දෙවන වාරයේ අධ්‍යයන කටයුතු ලබන 13 වන දින සිට ආරම්භ කිරීමට නියමිතයි.

එහෙත්  06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසු දරුවන් වෙනුවෙන් පමණක් අධ්‍යයන කටයුතු හෙට (06) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා රජය මෙම ආරක්ෂක සැලසුම ක්‍රියාවට නංවා ඇත.

මේ අතර කොළඹ ප්‍රදේශයේ පාසල් අවට පූර්ණ පරීක්ෂා කිරීම් අද සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේය.

මේ හේතුවෙන් පස්වරු 1.00න් පසුව කොළඹ ප්‍රදේශයේ පාසල් අවට වාහන නතර කිරීමට අවසර නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මේ අතර පාසල් කාලය තුළ කොළඹ නගරයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථ සහ පාසල් කාර්යය මණ්ඩලයේ රථ ගාල් කිරීම සඳහා වෙනම ස්ථාන නම් කර ඇත.

ඒ සඳහා මරදාන වයිඩ් පිටිය, ඩී.ආර්.විජේවර්ධන මාවත, මැල්වත්ත ක්‍රීඩාංගණය, කුමාර දොරටුව, සංඝරාජ මාවත, සතොස රථ ගාල, හයිඩ්පාක් පිටිය, සොන්ඩර්ස් ක්‍රීඩාංගණය, ඩිස් වයිට් ක්‍රීඩාංගණය, දෙමටගොඩ පොලීසිය ඉදිරිපිට ඉඩම, මැටිපාක් රථගාල, ලලිත් ඇතුළත් මුදලි ක්‍රීඩාංගණය, ශාලික ක්‍රීඩාංගනය, කැම්බල් පිටිය යන ස්ථානවල රථ වාහන නවතා තැබිය හැකියි.

මීට අමතරව එෆ්.ආර්.සේනානායක මාවත, ආනන්දු කුමාරස්වාමි මාවත, ධර්මපාල මාවත, මේට්ලන්ඩ් පෙදෙස, පදනම් ආයතනය, නන්දදාස කෝදාගොඩ මාවත, මාකස් ප්‍රනාන්දු මාවත, ලයනල් වෙන්ඩ්ට්, ග්‍රෙගරිපාර, මළලසේකර මාවත, තුරග තරග පිටිය, මුහුදු මාවත, බී.ආර්.සී.පිටිය, කුරේ ක්‍රීඩාංගණය, හෙන්රි පේද්‍රික් ක්‍රීඩාංගණය, යන ස්ථානවල ද පාසල් රථවාහන නැවැත්වීමට අවසර ලබා දී ඇත.

Read more

Local News