සෙනරත්ගේ නඩුවට සාක්ෂි දෙන්න එන්නැයි පූජිත්ට සහ හිටපු භාණ්ඩාගාර ලේකම්ට සිතාසි

Share

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවට අදාළව විත්තිය වෙනුවෙන් සාක්ෂි දීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු භාණ්ඩාගාර ලේකම් පී. බී. ජයසුන්දර සහ දූෂණ මර්දන කමිටුවේ අධ්‍යක්ෂක යන මහත්වරුන්ට එළඹේන 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අද(06) කොළඹ ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය සිතාසි නිකුත් කළේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම සිතාසි නිකුත් කිරීම සිදු කර ඇත.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ගාමිණී සෙනරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කියා සිටියේ තම සේවාදායකයා විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඊට අමතරව විත්තිය වෙනුවෙන් සාක්ෂි කැඳවීමට අපේක්ෂා කරන බවත්ය.

විත්තිය වෙනුවෙන් තමන් කැඳවීමට අපේක්ෂා කරන සාක්ෂි ලැයිස්තුව මේ වන විටත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥ ශබ්රි මහතා එහි සාක්ෂිකරුවන් තුන් දෙනෙකු වෙත සිතාසි නිකුත් කරන්නැයි ඉල්ලා ඇත.

ඒ අනුව විත්තියේ සාක්ෂි කරුවන් ලෙස නම් කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, භාණ්ඩාගාර හිටපු මහ ලේකම් පී.බී.ජයසුන්දර සහ දූෂණ මර්දන කමිටුවේ අධ්‍යක්ෂවරයාට ලබන 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින පියදාස කුඩාබාලගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු විත්තියේ සාක්ෂි කැඳවීමට අපේක්ෂා කරන බවත් අධිකරණයට දැනුම් දී ඇත.

ඔහු වෙනුවෙන් කැඳවන විත්තියේ සාක්ෂි ලැයිස්තුව අද දිනය තුළ අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවද ජනාධිපති නීතිඥ මාරපන මහතා අධිකරණයට දැනුම් දී තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට නඩු විභාගය ලබන 13 වනදා කැඳවීමට නියම කළේය.

2014 වසරේ පෙබරවාරි මස 01 වනදා 2015 වසරේ ජනවාරි මස 19 දක්වා කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට රුපියල් මිලියන 500ක මුදලක් කැන්විල් හෝල්ඩිං සමාගම හරහා හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව මුලින්ම නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණී.

එහෙත් මෙම නඩුවේ විභාගය අවසන් වීමෙන් පසුව නිල් බණ්ඩාර හපුහින්න නමැති විත්තිකරු විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදහස් කිරීමට ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණය ඉකුත් දා නියෝග කළේය.

ඉන් අනතුරුව ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වේ.

Read more

Local News