ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 100ක අලාභයක්

Share

ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 100ක අලාභයක් ඇතිව කටයුතු සිදු කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

කෙසේ වෙතත් කුමන බාධාවක් ඇති වුවත්, අවම මිලක් යටතේ විදුලිය ජනනය කිරීම සිදු කරන බවද අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ(05) කුකුළේගඟ ජල විදුලිබලාගාරයේ වර්තමාන තත්ත්වය සහ ආරක්ෂක තත්ත්වය පිළිබදව සොයාබැලීම සඳහා සංවිධානය කළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව මාධ්‍ය නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

” විදුලිබල අර්බුධයක් ඇතිවීම සම්බන්ධයෙන් යම් යම් පිරිස් දැන් අදහස් දක්වනවා. කලින් පැවති ආණ්ඩුව ඒ ප්‍රශ්නය ඇති කරලා දැන් අපිට දොස් පවරන එක තමයි ලොකුම විහිළුව.

අපේ ආණ්ඩුව පත්වීමෙන් පසුවත් මේ සම්බන්ධයෙන් මන්දගාමී ස්වරූපයෙන් තමයි ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. මේ ප්‍රශ්නයට දේශපාලඥයින් පමණක් නෙමෙයි රජයේ නිලධාරීන් පවා වගකිව යුතුයි.

මේ ප්‍රශ්නය විසදන්න මූල්‍යමය පැත්තෙන් කිසිම උනන්දුවක් නැති බවයි පෙනෙන්නේ. නිෂ්පාදන වියදම අඩුකරලා, අහිංසක ජනතාව බදු බරෙන් නිදහස් කරන්නයි අවශ්‍ය වන්නේ. දැන දැන ප්‍රශ්න ඇතිකරගන්න රටක් තමයි ලංකාව. දැන් ප්‍රශ්නය හංගන්න අවශ්‍ය නැහැ. විවෘත කළ යුතුයි. ලංවිම රු. බිලියන 100 ක අලාභයක් පවතිනවා.

මීට පෙර හිටිය අමාත්‍යවරුන් නොදැනුවත්කමින් හෝ නොසිතා යම් යම් ප්‍රකාශ කරලා තිබෙන තත්ත්වය තවතවත් උග්‍ර කරනවා. නමුත් මම කැබිනට් මණ්ඩලයත් සමග ඉතාමත් විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරලා, ඉදිරියේදී පත්වන විදුලිබල අමාත්‍යවරයෙකුට මෙවැනි ප්‍රශ්නයක් ඇතිනොව ආකාරයෙන් කටයුතු කරනවා.

මම එක දෙයක් ස්ථිරවම කියනවා. නිෂ්පාදන වියදම කෙතරම් වුවත් ගෘහස්ත විදුලිබිල වැඩි කරන්න දෙන්නේ නැහැ. මොන බාධකයක් තිබුණත් අවම මිලක් යටතේ විදුලිය ජනනය කරන්න අපි ක්‍රියා කරනවා ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

Read more

Local News