සරත්. එන්. සිල්වාට එරෙහි පැමිණිල්ල සලකා බැලීම ජුනි මසට කල්යයි

Share

හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සලකා බැලු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු නඩු විභාගයට සහභාගි වීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් එම පැමිණිල්ල සලකා බැලීම ජුනි මස 28 වන දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන චන්ද්‍රගුප්ත තේනුවර, ප්‍රශාන්ත ගුණවර්ධන සහ මහාචාර්ය හේවා වඩුගේ සිරිල් යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් දෙසැම්බර් මස තුන්වනදා මරදාන ප්‍රදේශයේ පැවති මහජන රැළියකදී කරුණු දැක්වූ හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය පිළිබඳව දැක්වූ අදහස් තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.

ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දු කොට සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම පැමිණිල්ල අද(07) ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

මෙහිදී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ වගඋත්තරකරුගේ ප්‍රකාශයට පාදක වූ බව කියන තහනම් නියෝගය නිකුත් කළ විනිසුරු මඩුල්ලේ තමා ද සාමාජිකයෙක් වශයෙන් කටයුතු කළ හෙයින් තමන් මෙම නඩු විභාගයට සහභාගි වීමට අකැමැත්ත පළ කළ බවයි.

ඒ අනුව මෙම පැමිණිල්ල වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ ජුලි මස 28 වන දා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය  නියම කළේය.

Read more

Local News