අර්ජුන් ඇලෝසියස්‌ ඇමතූ කෝප් සාමාජිකයන් හෙළි වෙයි

Share

ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ දෙවැනි කෝප් කමිටුවේ සාමාජිකයින් පර්පෙචුවල් ට්‍රෙසරීස්‌ සමාගමේ අයිතිකරුවන් වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා සමග දුරකථන සම්බන්ධකම් පවත්වා ඇත්දැයි සොයා බැලීම සඳහා රහස්‌ පොලිස්‌ උප පොලිස්‌ පරීක්‍ෂක යසාන්ත ජයසිංහ මහතා කළ පරීක්‍ෂණයේ වාර්තාවක්‌ ඊයේ (16 දා) බැඳුම්කර ජනාධිපති කොමිසමට ඉදිරිපත් කෙරිණි.

එම වාර්තාව ඉදිරිපත් කිරීමට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ සඳහා අවසර ඉල්ලා කොමිසමට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොමිසමේ අවසරය ලැබිණි.

භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවයන් පිළිබඳව සොයා බැලූ කෝප් පාර්ලිමේන්තු කමිටුවේ ඇතැම් සාමාජිකයන්ට විශේෂයෙන් පර්ක්‌ කමිටුව ඒ පිළිබඳව සකස්‌ කළ නිර්දේශ ඇතුළත් වාර්තාවට පාද සටහන් තැබූ සාමාජිකයන්ට එරෙහිව චෝදනා එල්ල වූ නිසා අර්ජුන් ඇලෝසියස්‌ගේ සහ පර්ක්‌ කමිටු සාමාජිකයන් භාවිතා කළ දුරකථනවල දත්ත පරීක්‍ෂා කිරීමට රහස්‌ පොලිසියට උපදෙස්‌ දුන් බවද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් කෝදාගොඩ මහතා කීවේය.

රහස්‌ පොලිස්‌ උප පොලිස්‌ පරීක්‍ෂක ජයසිංහ මහතා ඊයේ කොමිසමට ඉදිරිපත් කළ එම පරීක්‍ෂණ වාර්තාව අනුව අර්ජුන් ඇලෝසියස්‌ මහතා සමග වැඩියෙන්ම දුරකථන සම්බන්ධතා පවත්වා තිබුණේ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ සුජීව සේනසිංහ මහතායි.

ඔහු අර්ජුන් ඇලෝසියස්‌ට ලබා ගෙන ඇති දුරකථන ඇමතුම් සංඛ්‍යාව 62 කි.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා 2 වැනි පර්ක්‌ පාර්ලිමේන්තු කොමිටියේ සාමාජිකයන්ගේ නම් එකින් එක සඳහන් කරමින් රහස්‌ පොලිස්‌ උප පරීක්‍ෂක ජයසිංහ මහතා කළ පරික්‍ෂණවලට අනුව ඔවුන් අර්ජුන් ඇලෝසියස්‌ මහතා සමග සම්බන්ධකම් පවත්වා තිබේ දැයි ඔහුගෙන් විමසුවේය. ඒ අනුව ඔහු පැවසුවේ නියෝජ්‍ය ඇමැති අජිත් පෙරේරා මහතා අර්ජුන් ඇලෝසියස්‌ට ඇමතුම් 02 ක්‌ ලබා ගෙන ඇති බවයි. හර්ෂණ රාජකරුණා සමග හුවමාරු වී ඇති ඇමතුම් සංඛ්‍යාව 23 යි.

දයාසිරි ජයසේකර මහතා 05 යි.

හෙක්‌ටර් අප්පුහාමි ඇමතුම් 23 යි.

අනුර කුමාර දිසානායක, ආචාර්ය හර්ෂ ද සිල්වා, මහින්දා නන්ද අළුත්ගමගේ, බිමල් රත්නායක, අබ්දුල් අල් මහරුප්, මාවයි සේනාධිරාජා, ශ්‍රීධරන්, එම්. ඒ. සුමන්තිරන්, විමලවීර දිසානායක, බිමල් රත්නායක සහ පර්ක්‌ කමිටුවේ සාමාජිකයෝ අර්ජුන් ඇලෝසියස්‌ අතර දුරකථන පණිවිඩ හුවමාරු සිදුවී නැත.

හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගේ බිරිඳ වන මේලා කරුණානායක මහත්මිය අතර දුරකථන පණිවිඩ 320 ක්‌ ඔහුගේ දියණියන් දෙදෙනා වන ෂෙනාලි සහ ඔනෙල්ලා දුරකථන පණිවිඩ 12 ක්‌ හුවමාරුවී ඇත. මේ පණිවිඩ හුවමාරුවී ඇත්තේ 2016 පෙබරවාරි 02 සහ 2017 ජුනි 20 දක්‌වා කාලසීමාව තුළයි.

හිටපු මුදල් ඇමැති හා අර්ජුන් ඇලෝසියස්‌ අතර දුරකථන ඇමැතුම් 387 ක්‌ හුවමාරුවී ඇති බවද සාක්‍ෂිකරු කීය.

Read more

Local News