හදිසි මරණ පරීක්ෂකවරු දෙදෙනෙකුගේ පත්වීම් වලකාලමින් තහනම් නියෝගයක්

Share

කොළඹ කලාපයේ හදිසි මරණ පරීක්ෂකවරු ලෙස පත්කර සිටින යූ.එල්.ජී. අනුත්තරා සහ ඒ.එච්.එම්.මහරූෆ් යන අයට එම තනතුරුවල කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

දැනට කොළඹ කලාපයේ හදිසි මරණ පරීක්ෂකවරු ලෙස කටයුතු කරන අෂ්රොෆ් රූමි සහ ඉරේෂා සමරවීර යන මහත්ම මහත්මීන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දීමෙන් පසුව‍ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ කොළඹ කලාපයේ හදිසි මරණ පරීක්ෂකවරු බඳවා ගැනීමේ පටිපාටියට අනුව එම තනතුර සඳහා පත් කළ හැක්කේ වසර 4 ක අවම සක්‍රීය සේවයක් සහිත නීතිඥවරුන්ට පමණක් බවයි.

එහෙත් වර්තමානයේ පත්කොට තිබෙන වග උත්තරකාර හදිසි මරණ පරීක්ෂකවරු දෙදෙනා නීතිඥවරු නොවන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එහෙයින්  ඔවුන්ට එම තනතුරු දැරිය නොහැකි බව අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් අතර ලබන ඔක්තෝබර් මස 10 වනදා මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියද අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සහ එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නව දෙනෙකුට නොතීසි නිකුත් කළේය.

එදින තෙක් අදාළ පත්වීම් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලැබීය.

Read more

Local News