සාරාගේ මව කළ චෝදනාවට අබ්දුල් රාසික් පිළිතුරු දෙයි

Share

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොම්මදු හස්තුන්ගේ බිරිඳ වන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා පිළිබඳව ඇයගේ මව ඉන්දීය මාධ්‍යයට කරුණු රැසක් අනාවරණ කළේය.

ඇය පවසා සිටියේ හින්දු භක්තිකයෙක් වන සාරා පැහැරගෙන ගොස් ඉස්ලාම් ආගමට බඳවාගෙන ඇත්තේ බලහත්කාරයෙන් බවයි.

ඇය පැවසුවේ තම දියණිය මේ වනවිට අතුරුදන් වී සිටින බවත් දියණිය ශුද්ධ වු හින්දු කෙනෙකු බවත්ය.

දියණිය පැහැරගෙන ගොස් කොළඹ රඳවා තබාගෙන ඇත්තේ සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් ළඟ බවත් ඔහු විසින් තම දැඩි විරෝධය මධ්‍යෙය් තම දියණිය හස්තුන් නැමැත්තාට මාළිගාවත්තේ දී විවාහ කර දුන් බවත් ඇගේ මව චෝදනා කර සිටියේය.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වු සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ පුලස්තිනී විසින් ඉස්ලාම් ධර්මය සිය කැමැත්තෙන්ම වැළඳගත් බවත් නමුත් 2015.12.31 ඇය විසින්ම ඉස්ලාම් ධර්මය ඇදහීමෙන් ඉවත්ව ගිය බවත්ය.

ඒ බව ද තම සංවිධානය වෙත ලිඛිතව දැනුම් දුන් බව ද අබ්දුල් රාසික් ප්‍රකාශ කර සිටියේය.

එතැන් සිට තම සංවිධානය සමඟ කිසිදු සම්බන්ධතාවයක් නොපැවැත්වු බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා නැමැත්තිය බලෙන් පැහැරගෙන ගොස් විවාහ කිරීම සම්බන්ධව සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුව ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

Read more

Local News