ජාතිවාදී ගැටුම්වලින් ආතල් ගන්න එපා

Share

මහජන ආරක්‍ෂාව තහවුරු කළ හැක්කේ ජාතික සමඟිය ගොඩනැගීමෙන් පමණක් බව ජනතා විමුකත්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිල්වින් සිල්වා මහතා පවසයි.

අද(14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසීය.

“අපේ රටේ ජනතාව තවමත් ඉන්නේ භීතියෙන්. භීතිය, අනාරක්‍ෂිත බව හා සැකය ඉවත් කරලා ජනතාවට සාමාන්‍ය පරිදි ජීවත් වෙන්න අවශ්‍යයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලූම ජනතාව අතරත් සියලූම ආගම් අතරත් සමගිය හදන්න පුළුවන් වෙන්නේ ජාතික සමගිය ගොඩනැගීමෙන් පමණයි.

ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් ජාතික සමගිය විශ්වාස කරන පක්‍ෂයක්. එනිසා ජාතික සමගිය විනාශ වෙන්න ඉඩ හදන්න එපා. නැවතත් අපේ රටට කළු පැල්ලම් එපා. අපකීර්තිය එපා. ජාතිවාදී ලේ වැගිරීම් එපා.

ජනතා විමුක්ති පෙරමුණේ අපි සියලූම දේශපාලන පක්‍ෂවලින් ඉල්ලනවා තමන්ගේ ස්ථාවරය පැහැදිලිව රටට කියන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණේ අපි අපේ සාමාජිකයින්ට අපේ ස්ථාවරය පැහැදිලි කරලා තිබෙනවා.

පහුගිය කාලයේ අපේ සාමාජිකයින් හමුවෙලා අපි මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළා. ඒ වගේ හැම නායකයෙක්ටම තමන්ගේ සාමාජිකයාට තම ස්ථාවරය කියන්න පුළුවන් නම් මෙම බොහෝ ගැටුම් වළක්වාගන්න පුළුවන්.

නමුත් අපේ රටේ ඇතැම් නායකයින් මතුපිටින් ජාතික සමගිය ගැන කතා කරමින් යටින් ජාතිවාදය අවුස්සනවා. 21වැනිදා ගලා ගිය ලේ කඳුළු වෙනුවට නැවතත් වෙන වර්ගයක ලේ කඳුළු  ඕන නැහැ.

සියලූ ලේ වැගිරීම් නතර කළ යුතුයි. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා, ජාතිවාදී උගුල්වලට අහුවෙන්න එපා කියල. ජාතිවාදී ගැටුම්වලින් ‘ආතල්’ ගන්න එපා. එහි ප‍්‍රතිඵලය ඉතාම භයානකයි.

ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි ඉල්ලනවා, කුමන ආගමක් ඇදහුවත් කුමන භාෂාවක් කථා කළත් ජාතිවාදය පෝෂණය කරන කි‍්‍රයාමාර්ග ගන්න එපා කියලා.

Read more

Local News