තුන්මෝදර කලබල අවස්ථාවේ ආරක්ෂක ඇඳුමින් සිටි පුද්ගලයා ගැන පරීක්ෂණ

Share

තුන්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල් ක්‍රියාවන් සිදුවන අවස්ථාවේ දී යුද්ධ හමුදා ඇඳුමට සමාන ආරක්‍ෂක ඇඳුමකින් සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

තුන්මෝදර කඩාකප්පල් ක්‍රියාවන් සිදුවන ස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙකුගේ වීඩියෝ දර්ශන කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළින් හුවමාරුවීම පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අවධානය යොමුව ඇති බව, නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.

යුද හමුදාව මගින් මේ සම්බන්ධව කඩිනම් පරීක්ෂණ පවත්වන අතර, එම වීඩියෝවේ ඇතුළත් ආරක්ෂක අංශ සාමාජිකයෙක් යැයි සැක කෙරෙන පුද්ගලයා හඳුනා ගැනීමට මහජන සහය අපේක්ෂා කරන බව ද එහි සඳහන් වේ.

යුද්ධ හමුදාව මගින් සිදුකරන පරීක්ෂණවලින් පසුව මෙම පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයෙකු බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට යුද්ධ හමුදාව කටයුතු කරන බව බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.

මේ පිළිබඳව තොරතුරු ඇතොත් විශේෂ විමර්ශන ඒකකය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ හදිසි ඇමතුම් අංක 011-2514280ට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Read more

Local News