මහින්දානන්දගේ නඩුව 31දා කැඳවන්න නියම වෙයි

Share

රුපියල් මිලියන 50ක්  බැගින් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ගොනුකළ නඩුව මැයි මස 31 වනදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (16) කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී පැමිණිලි සහ විත්ති පාර්ශවයේ නීතිඥවරුන් විසින් නඩුවට අදාළ පිළිගැනීම් හා විසඳනා සටහන් කරනු ලැබුවේය.

අනතුරුව නඩුවේ වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 31 දක්වා කල් තැබුණි.

පැමිණිලිකාර මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ කියා සිටින්නේ තමා ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවට කැරම් බෝඩ් සහ දාම් ලෑලි මිල දී ගැනීමේ ක්‍රියාවලියේ දී රජයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තමාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බවයි.

මෙම විමර්ශන කටයුත්ත පොදු දේපල පනතට අදාල නොවන බවට කොළඹ කොටුව එවකට මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් තීන්දු කර තිබියදී ඉකුත් වසරේ අප්‍රේල් මස 16 වනදා වගඋත්තරකරුවන් තමාව එම පනත යටතේ අත්අඩංගුවට ගත් බවත් පසුව තමාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් පැමිණිලිකාර අලුත්ගමගේ මන්ත්‍රීවරයා කියා සිටියේය.

එහිදී අදාළ වරද පොදු දේපල පනතට අයත් නොවන බව තීන්දු කළ අධිකරණය තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත නොකොට ඇප මත මුදා හළ බව ද ඔහු කියා සිටියේය.

මෙම වරද පොදු දේපල පනතට අදාල නොවන බවට අධිකරණය මඟින් තීන්දු කර තිබියදී වගඋත්තරකාර පොලිස් නිලධාරීන් තමාව එම පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ චේතනාවෙන් බවත් ඒ තුළින් තමන්ට සිදුවූ අපහාසය වෙනුවෙන් එම නිලධාරීන් දෙදෙනාගෙන් රුපියල් මිලියන 50 බැගින් වන්දි අය කර දෙන ලෙසත් ඉල්ලමින් මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා කොළඹ දිසා අධිකරණයේ නඩුව පවරා ඇත.

Read more

Local News