වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයා යළි රිමාන්ඩ් කෙරේ

Share

පසුගියදා සිදුවු ප්‍රහාර මාලාවට අදාළ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයෙකු වන රාජේන්ද්‍රන් කරුපයියා අබ්දුල්ලා නමැත්තා ලබන 30 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කර ඇත.

ඉකුත්දා කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයෙකු වන රාජේන්ද්‍රන් කරුපයියා අබ්දුල්ලා නමැත්තා ලබන 30 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කර ඇත.

මෙම පැමිණිල්ල අද(17) කැඳවූ අවස්ථාවේදී වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණ වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ඉකුත් දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්සාෆ් අහමඩ් නමැත්තා සමඟ දැනට රිමාන්ඩ් බාරයේ පසුවන මෙම කරුපයියා රාජේන්ද්‍රන් අබ්දුල්ලා නමැති සැකකරු සමීප සබඳතා පවත්වා ඇති බවට පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි.

අදාල මරාගෙන මැරෙන බෝම්බකරු රාජේන්ද්‍රන් නමැත්තාගේ විවාහ මංගල්‍යයට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාදී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම මෙම තැනැත්තාගේ සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 25 බැගින් වූ චෙක්පත් තුනක් සොයාගත් බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ පොලීසිය මෙම පරීක්ෂණය ආරම්භ කිරීමෙන් පසුව අදාළ කම්හලේ සේවය කළ සේවකයින් තුන් දෙනෙකු අතුරුදන් වී සිටින බවත් ඉන් එක් සැකකරුවකු ඉකුත්දා මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් ප්‍රකාශ කළේය.

පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ එම සැකකරු ලබන 31 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට ද අධිකරණය නියම කළේය.

මේ අතර පොලීසිය විසින් කළ තවත් ඉල්ලීම් කිහිපයක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා දැනට ඇප මත මුදාහැර සිටින සැකකරුවන් නව දෙනෙකු විසින් බහුලව ඇමතුම් ලබා ගත් දුරකථන අංක දහයක් පිළිබඳව දුරකථන විස්තර ඇමතුම් වාර්තා කැඳවීමට ද පොලීසියට අවසර ලබා දී ඇත.

එමෙන්ම ඇප මත මුදාහැර සිටින එම සැකකරුවන්ගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට තවත් අවසරයක් ලබා දී තිබේ.

Read more

Local News