යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

Share

පාසල්වල ආරක්ෂාව උපරීම අයුරින් තහවුරු කර ඇති බැවින් අනියත බියකින් තොරව හෙට සිට දරුවන් පාසැල් වෙත යැවීමට කටයුතු කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉල්ලීමක් කරයි.

අද(20) පෙරවරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය පාස්කු ඉරු දින ලංකාවේ ඇති වු ත්‍රස්ථප්‍රහාරයත් සමඟ ඇති වු බිය හේතුවෙන් ජන ජීවිතය අඩාල වු බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මේත් සමඟ රටේ සංවර්ධනයට හා ආර්ථිකයට ඍජු දායකත්වයක් ලබා දෙන ආයතනවල සේවක සේවිකාවන් සේවයට වාර්තා කිරීම හා සෙසු කාර්යයන් අඬාල වු බවත් පැවසු හමුදාපතිවරයා මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පොලීසිය හා ත්‍රිවිධ හමුදාව දැඩි කැපවීමෙන් කටයුතු කළ බව ද පැවසීය.

ත්‍රස්ථවාදීන් ඉලක්ක කර ගත් ආරක්ෂක අංශ මෙහෙයුම් සහ රට තුළ යොදා ඇති ආරක්ෂක වැඩපිළිවෙල හේතුවෙන් රජයේ හා පෞද්ගලික අංශයේ සේවයට පැමිණීම හා අනෙක් කටයුතු වර්තමානය වන විට සතුටුදායක ලෙස වර්ධනය වී ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මේ වසරේ දෙවැනි වාරය සඳහා පාසල් යළි විවෘත කළ මොහොතේ පාසල්වල ආරක්ෂාව සඳහා, විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබුණ ද බොහෝ දෙමව්පියන් පැතිර ගිය කටකතා හා අසත්‍ය පුවත් හේතුවෙන් දූදරුවන් පාසල් වෙත එවීමට මැලි වු බව ද යුද හමුදාපතිවරයා පවසා සිටියේය.

කෙසේ වෙතත් මේ මොහොතේ දී සියලු පාසල් වෙත ආරක්ෂාව සැපයීම ශ්‍රී ලංකා පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ ප්‍රමුඛතම සේවාවක් ලෙස සලකා සියලු ආරක්ෂක පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව, දරුවන් හෙට දින සිට පාසල් වෙත යවන ලෙස ද හමුදාපතිවරයා සියලු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

ත්‍රස්ථ ප්‍රහාරයෙන් පසුව ප්‍රදේශ කීපයක සාමය කඩ වන සිදුවීම් කීපයක් සිදු වුවත් එය හමුදාව හා පොලීසිය එක්ව පාලනය කිරීමට සමත් වු බවත් හමුදාපතිවරයා සඳහන් කළේය.

එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා නැවත ඇති නොවීමට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව ද හමුදාපතිවරයා පවසයි.

පසුගිය දින 2 තුළ වෙසක් වෙනුවෙන් බෞද්ධ සිද්ධස්ථාන ආසන්නයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ බවත්, ඒ අනුව සියලු දෙනා එකතු වී සාමකාමී ලෙස වෙසක් සැමරූ බවත් හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රට රකින ජාතිය ලෙස යුද හමුදාව සෑම මොහොතකම සියලු දෙනා රැකීමට කැපවී සිටින බවත්, විශේෂයෙන් ළමා පරපුර ආරක්ෂා කිරීම ප්‍රමුඛත්වයක් ලෙස සලකා ආරක්ෂාව සපයා ඇති බැවින් සියලු දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස ද හමුදාපතිවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

Read more

Local News