වගුරු බිමකට ඇදී ගිය දුම්රිය හමුදා සහායෙන් ගොඩට

Share

දුම්රිය එන්ජින් දෙකක් එකවර පිළි පැනීමකට ලක්ව වගුරු බිමකට ඇදී ගොස් මඩේ එරී සිදුවූ දුම්රිය අනතුරේ, ප්‍රධාන දුම්රිය එන්ජිම දින 8 ක මෙහෙයුමකින් පසුව සාර්ථකව පීලි ගත කිරීමේ කටයුතු, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා යුධ හමුදා නිලධාරින් එක්ව අද (20දා) අළුයම සාර්ථකව නිම කළහ.

පසුගිය 13දා අළුයම  කොළොන්නාවේ සිට අනුරාධපුර දක්වා ඉන්ධන  රැගෙන ගමන් කළ ඉන්ධන ටැංකි 10 කින් හා එන්ජින් 2 කින් සමන්විත මෙම දුම්රිය, ශාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලී පැනිමට ලක්ව තිබුණි.

පීලි පැනීමෙන් අනතුරුව  එම දුම්රිය ප්‍රධාන දුම්රිය මාර්ගයෙන් අතුරු දුම්රිය මාර්ගයකට ධාවනය වී, එම රේල් පාර  අන්තයේ ඇති නැවතුම් බැම්ම ( බපර් ) කඩා ගෙන ගොස්, දුම්රියේ එන්ජින් දෙක හා එක් ඉන්ධන  ටැංකියක් ප්‍රධාන දුම්රිය මාර්ගයෙන් අඩි 4ක් පමණ පහතින් ඇති වගුරු බිමකට ඇදී ගොස් මඩේ එරී තිබුණි.

අංක 872 දරන මෙම ඉන්ධන දුම්රිය සමග අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබූ දුම්රිය එන්ජිමක් ද, අනුරාධපුර දක්වා ගමන් කර තිබූ අතර එම දුම්රිය එන්ජිම සමග ප්‍රධාන එන්ජිම හා එක් ඉන්ධන ටැංකියක් මෙම අනතුරින් පීලි පැනීමට ලක්ව තිබුණි.

මෙම දුම්රිය අනතුරින් පීලි පැනීමට ලක්ව තිබූ එක් ඉන්ධන ටැංකියක් අනතුර සිදුවූ 13 වනදා ම පිලී ගත කර තිබූ අතර, නඩත්තු කර අනුරාධපුරයට රැගෙන එමින් තිබූ දුම්රිය එන්ජිම දින තුනකට පසුව පසුගිය 16 වනදා දුම්රිය දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් හා සේවකයන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා පිලීගත කර තිබුණි.

ප්‍රධාන එන්ජිම මඩේ එරී තිබීම හේතුවෙන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 100 කට ආසන්න ප්‍රමාණයක් එක්ව නව දුම්රිය මාර්ගයක් නිර්මාණය කර මඩ වගුරෙන් ගොඩ ගැනීමට කීපවරක් උත්සහ  දැරුවද, පසුව එයද අසාර්ථක විය. පසුව යුධ හමුදා සන්නාහ සන්නද්ධ රථයක් උපයෝගී කරමින් එම එන්ජිම වගුරු බිමෙන් ගොඩ ගැනීමට කටයුතු කළේය.

Read more

Local News