සැකකරුවෙක් මුදාගන්න පොලීසියට අල්ලස් දෙන්න ගිය පුද්ගලයා යළි රිමාන්ඩ්

Share

අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ පණස් දහසක අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා තවදුරටත් ලබන 04 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සැකකරු අද(21) බන්ධනාගාරය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවනු ලැබුවේය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

මෙම සැකකරු ත්‍රස්තවාදී සංවිධාන සමඟ සම්බන්ධකම් පවත්වන්නේ ද යන්න පිළිබඳව හොරොව්පතාන පොලිසිය මගින් රහස් පොලිසිය වෙත කරුණු වාර්තා කර ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බවද අල්ලස් කොමිසම අධිකරණය දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් ද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 04 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද අල්ලස් කොමිසමට නියම කළේය.

Read more

Local News