ඔස්ට්‍රියාවේ අන්ත දක්ෂිණාංශික නිදහස් පාක්ෂික සියලු ඇමතිවරු ඉල්ලා අස්වෙයි

Share

ඔස්ට්‍රියානු රජය දැඩි අර්බුදකාරී තත්ත්වයකට ඇද දමමින් ඔස්ට්‍රියාවේ අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂයේ සියලු අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉවත්ව තිබේ.

මෙය සිදුවූයේ දූෂණ චෝදනා එල්ලවූ ඔස්ට්‍රියානු නිදහස් පක්ෂ නායකයා මෙන්ම එරට නියෝජ්‍ය චාන්සල්වරයා වූ හයින්ස් ක්‍රිස්ටියන් ස්ට්‍රැචේ ට ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවීමෙන් පසුවයි.

රුසියානු ආයෝජකයකුට රජයේ කොන්ත්‍රාත් ලබාදීමට ඔහු තැත්කරන අයුරු දැක්වෙන වීඩියෝවක් නිකුත්වීමෙන් පසු ඔස්ට්‍රියානු නියෝජ්‍ය චාන්සල්වරයාට සිය ධූරයෙන් ඉවත්වීමට සිදුවිය.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය හර්බට් කික්ල් ද ධූරයෙන් ඉවත්කළ හොත් පක්ෂයේ සියලු අමාත්‍යවරුන් ධූරයෙන් ඉල්ලා අස්වන බවට ඕස්ට්‍රියානු නිදහස් පක්ෂය මීට පෙර අනතුරු අඟවී ය.

මෙම පක්ෂයේ මහලේකම්වරයා ලෙස හර්බට් කිකල් සිය ධූරයෙන් ඉල්ලා අස්වී මෙම වරදෙහි වගකීම භාරගත යුතු බව ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කර්ස් ඉකුත් සති අන්තයේදී ප්‍රකාශ කළේ ය.

මේ අනුව ඔස්ට්‍රියානු නිදහස් පක්ෂයේ ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් වන්නේ ආරක්ෂක , ප්‍රවාහන සහ සමාජ සබඳතා ධූර දැරූ අමාත්‍යවරුන් බව සඳහන් ය.

ඔස්ට්‍රියානු කැබිනට් මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ගෙන් අඩක්ම එරට නිදහස් පක්ෂයේ සාමාජිකයන් වේ.

Read more

Local News