හුවාවේ සමාගමට ඇන්ඩ්‍රොයිඞ් අහිමිවෙයි

Share

චීනයේ හුවාවි විදුලි සන්දේශ සමාගම සිය අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට ඇමෙරිකා රජය පියවර ගැනීමත් සමඟ, ඇමෙරිකාවේ ගූගල් සමාගම නිවේදනය කළේ තමන් ‘හුවාවේ’ සමඟ ඇති කරගත් සියලු ගිවිසුම් අවලංගු කරන බවය.

ඒ අනුව, ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතිය (ඔපරේටින් සිස්ටම්) හුවාවේ සමාගමට අහිමි වෙයි.

අද අප පරිහරණය කරන ස්මාර්ට් ෆෝන් ජංගම දුරකතන, ටැබ් යන්ත්‍ර ඇතුළු විද්‍යුත් උපාංග බොහොමයක භාවිතා කෙරෙන්නේ ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතියයි.

ඇමෙරිකාව, හුවාවි විදුලි සන්දේශ සමාගම ඔවුන්ගේ අසාදු ලේඛනයට (බ්ලැක් ලිස්ට්) ඇතුළත් කළේ ඇමෙරිකාවත් චීනයත් අතර නිර්මාණය වී ඇති වෙළෙඳ යුද්ධය මුල්කොට ගනිමිනි.

ඇමෙරිකාව චීනයටත්, චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පනවා තිබේ. හුවාවේ ලොව ප්‍රමුඛ පෙළේ විදුලි සන්දේශ සමාගමක් වන අතර ඇමෙරිකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ පුළුල්ව පැතිර ඇත්තේ ද හුවාවේ උපාංගය.

ඇමෙරිකන් රජය හුවාවේ සමාගම ඉලක්ක කර ගනිමින් තහංචි සහ සම්බාධක පනවා ඇත්තේ, හුවාවේ සමාගම චීනය වෙනුවෙන් ඇමෙරිකාවේ ඔත්තු බැලීම්වල නියැලුණු බවට ද චෝදනා නගමිනි.

ගිවිසුම් අවලංගු කිරීම නිසා ඇමෙරිකාවේ ගූගල් සමාගම හුවාවේ සමාගමට සපයන මෘදුකාංග පමණක් නොව, දෘඪාංග පවා නවතිනු ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මින් ඉදිරියට අලුතින් නිෂ්පාදනය කෙරෙන හුවාවේ සමාගමට ලබා දුන් ඇන්ඩ්‍රොයිඞ් තාක්ෂණය හුවාවේ සමාගමට අහිමි වන අතර දැනට භාවිතා කෙරෙන ගූගල් තාක්ෂණය කල් ඉකුත් වීමෙන් පසු හුවාවි පාරිභෝගිකයන් දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බවට ද බිය පළ කෙරේ.

ගූගල් ප්ලේ පමණක් නොව, ජීමේල් සහ ගූගල් ඇප් (මෘදුකාංග) සේවා සියල්ල ද හුවාවි දුරතකන, ටැබ් ඇතුළු සියලු සන්නිවේදන උපාංගවලට අහිමි වෙයි. මෙය හුවාවේ සමාගමට ප්‍රබල පහරක් වනු ඇති බව පැවැසෙයි.

Read more

Local News